Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතරමග නතර කළ මැට්ට සහිත ක්‍රීඩාංගණ ජාතික ටෙනිස් තරගාවලිය කඩිනම් කරයි

අතරමග නතර කළ මැට්ට සහිත ක්‍රීඩාංගණ ජාතික ටෙනිස් තරගාවලිය කඩිනම් කරයි

ශානුක අරවින්ද - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කොරෝනා වසංගතය හේතුවෙන් අතර මැද අතහැර දැමිමට සිදුවූ මැට්ට සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික ටෙනිස් තරගාවලිය වසංගත තත්වය පහව ගිය පසු කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය බලාපොරොත්තු වන බව එහි සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාංගණ වර්ග දෙකක් තිබේ. ජාතික ශූරතාවලිය ආරම්භ වූයේ මැට්ට සහිත ක්‍රීඩාංගණ වලදී වන නමුත් මේ වන විට දෘඩ (කෘතිම මතුපිටක් සහිත) පිටි සැහෙන සංඛ්‍යාවක්ද ශ්‍රී ලංකාව තුළ තිබේ. එබැවින් මැට්ට සහිත ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන තරග සඳහා ජාතික ශූරතාවලියක් මෙන්ම දෘඩ පිටි සඳහාද ජාතික තරගාවලියක් පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය තෙවැනි වරටත් සංවිධානය කරන  මැට්ට සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික ටෙනිස් තරගාවලිය මාර්තු මස 13 වැනිදා සිට 26 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් කොවිඞ්-19 වයිරසය පැතිර යෑම හේතුවෙන් සියලුම ක්‍රීඩා නතර කිරීමත් සමග එම තරගාවලියද අතර මැද නතර කිරීමට සංවිධායකයන්ට සිදුවිය. ඒ වන විට පවත්වා තිබුණේ තරගාවලියේ මූලික තරග පමණි.

ඉසව් 27 කින් සමන්විත වන එම තරගාවලිය කනිෂ්ඨ, විවෘත, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු ලෙස කාණ්ඩ 4 කින් සමන්විත වේ. හච් සන්නිවේදන සමාගම සහ හැටන් නැෂනල් බැංකුව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරති.
කොවිඞ් වයිරසය පැතිරීම හේතුවෙන් තරගාවලි රැසක් කල් දැමීමට සිදුව ඇති නමුත්, මේ වසරේ (2020) ටෙනිස් දින දර්ශනය ඉතාමත් කාර්යබහුල බැවින් කල් දැමුණ තරගාවලි අතරින් ඉදිරියේදී පැවැත්වීමට හැකි වනු ඇත්තේ මැට්ට සහිත ජාතික ටෙනිස් තරගාවලිය පමණක් බවද අයිසැක් මහතා කියා සිටියේය.

මේ වසරේ ටෙනිස් දින දර්ශනයට අනුව අප්‍රේල් මාසයේදී තරගාවලි 5 ක් පැවැත්වීමට නියමිතව තිබිණ. එම තරගාවලි සියල්ල කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට ඒ ඒ තරගාවලීන්හි සංවිධායකයන්ට සිදුවිය.

මෙරූන්ස් සති අන්ත ටෙනිස් තරගාවලිය, මහනුවර සති අන්ත ටෙනිස් තරගාවලිය (අප්‍රේල් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා), නුවරඑළිය හිල් ක්ලබ් ටෙනිස් තරගාවලිය (අප්‍රේල් 9 වැනිදා සිට 14 වැනිදා දක්වා), බණ්ඩාරවෙල ටෙනිස් තරගාවලි (අප්‍රේල් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා) සහ මාතලේ ටෙනිස් තරගාවලිය (අප්‍රේල් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා) එම කල් දමන ලද තරගාවලි විය.

අප්‍රේල් මාසය අග භාගයේදී සහ මැයි මස මුල් භාගයේදී අන්තර් ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලි 2 කට සත්කාරකත්වය ලබාදීමටද ශ්‍රී ලංකා ටෙනිස් සම්මේනලනය සූදානමින් සිටි අතර කොවිඞ් වසංගතය හේතුවෙන් එම තරගාවලි දෙකද කල් දැමීමට සිදුවිය. කෙසේ වුවත් එම තරගාවලි දෙක පැවැත්වීම සඳහා නව දිනයන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා ඔක්තෝබර් මාසයේ දිනයන් ලබා දීමට අන්තර් ජාතික ටෙනිස් සම්මේලනය පියවර ගෙන ඇතැයි අයිසැක් මහතා පැවසීය.  

ඒ අනුව වසංගත තත්වය සමතයකට පත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 20 වැනිදා සිට මැයි 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම තරගාවලි දෙක ඔක්තෝබර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.  ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ තවත් ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලි 2 ක් සැප්තැම්බර් මස 7 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක  ජාතික මට්ටමේ කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරමක් අවිවේකී මාස දෙකක් වනු ඇත.

පෙර යොදාගත් පරිදි මැයි සහ ජූනි මාසවලද තවත් තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති නමුත් එම තරගාවලි පැවැත්වීමද මේ වන විට අවිනිශ්චිත තත්වයක පවතින බව අයිසැක් මහතා කියා සිටියේය. අගෝස්තු මාසය වන විට තත්වය යහපත් අතට හැරුණහොත් ටෙනිස් දින දර්ශනයට අනුව දෘඩ පිටි ජාතික ටෙනිස් තරගාවලිය පෙර සැලසුම් කළ පරිදිම පැවැත්වීමට හැකි වනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ශාන්ත පීතර ටෙනිස් තරගාවලිය (මැයි 8 වැනිදා සිට 10 වැනිදා දක්වා) සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ ටෙනිස් තරගාවලිය (මැයි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා) මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මීගමුව ටෙනිස් තරගාවලිය (ජූනි 5 වැනිදා සිට 14 වැනිදා දක්වා) සහ කුරුණෑගල කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය (ජූනි 26 වැනිදා සිට 28 වැනිදා දක්වා) ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 105 වැනි වරටත් සංවිධානය කරන දෘඩ පිටි ජාතික ටෙනිස් තරගාවලිය අගෝස්තු මස 14 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

අතරමග නතර කළ මැට්ට සහිත ක්‍රීඩාංගණ ජාතික ටෙනිස් තරගාවලිය කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.