Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 70 වැනි සංවත්සර ගෝන් ප්‍රී තරගය හෙට

70 වැනි සංවත්සර ගෝන් ප්‍රී තරගය හෙට

editorial - 2020 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික මෝටර් ක්‍රීඩා සංගමය විසින් 70 වැනි වරට සංවිධානය කරනු ලබන ගෝන් ප්‍රී තරගය හෙට (9 වැනිදා) එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැත්වේ. මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග මාලාවේ පස්වැනි ගෝන් ප්‍රී තරගය මෙන්ම මෙම වසර තුළ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැත්වෙන දෙවැනි ගෝන් ප්‍රී තරගයද මෙයයි.

මින් පෙර ඔස්ට්‍රියාවේදී පැවැති ගෝන් ප්‍රී තරග දෙකේදී, හංගේරියානු ගෝන් ප්‍රී තරගයේදී සහ බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගයේදී ලබාගත් ලකුණු වලට අනුව මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන්, මෙම තරගයට පෙර ලකුණු 88 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. ඔහුගේ කණ්ඩායම් සගයා වන වෙල්ටරි බොටාස් ලකුණු 58 ක් සමගින් දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් ලකුණු 52 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගවාරයේ සියලුම ගෝන් ප්‍රී තරග ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන්ද දැඩි සෞඛ්‍ය ක්‍රමවේදන් පිළිපැදිය යුතුය. ඒ අනුව කිලෝ මීටර් 5.891 ක දුරකින් සමන්විත සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන දෙවැනි ගෝන් ප්‍රී තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

අවසන් වරට පැවැති බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගය ජය ගැනීමටද හැමිල්ටන් සමත් වූ අතර ඒ සඳහා ඔහුට පැය 1 යි, විනාඩි 28 යි, තත්පර 01.283 ක කාලයක් ගත විය. එම ජයත් සමගින් ගෝන් ප්‍රී ජයග්‍රහණය 87 ක් ලබා සිටින හැමිල්ටන්, මයිකල් ශූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව (91) පසුකර යෑම සඳහා තවත් ජයග්‍රහණ 5 ක් පසුපසින් සිටියි. මේ වසර තුළදී එම වාර්තාව පසුකර යෑම සඳහා ඔහුට තවත් ගෝන් ප්‍රී තරග 7 ක් ඉතිරිව තිබේ.  

හැමිල්ටන්ට වඩා තත්පර 5.856 ක් පසුපසින් බි්‍රතාන්‍ය ගෝන් ප්‍රීතරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ෆෙරාරි කණ්ඩායමේ චාස්ල් ලැක්ලර්ක් සහ රෙනෝල්ට් කණ්ඩායමේ ඩැනියෙල් රිකාඩෝ තරගයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූයේ හැමිල්ටන්ට වඩා තත්පර 18.474 ක් සහ 19.650 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

අනිද්දා පැවැත්වෙන තරගයට පෙර ඊට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා ඊයේ (7 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට සහ 7.30 ට පුහුණු අදියර දෙකක් පැවැත්විණි. තෙවැනි පුහුණු අදියර අද (8 වැනිදා) පස්වරු 3.30 ට පැවැත්වෙන පැවැති අතර සුදුසුකම් ලබාගැනීමේ අදියර (තරග ආරම්භක ස්ථාන සඳහා පැවැත්වෙන කාල ගණනය) අද පස්වරු 6.30 ට පැවැත්වීමට නියමිතය.
 
මෙම තරගයෙන් අනතුරුව ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය අගෝස්තු මස 16 වැන්දා පැවැත්වෙන අතර බෙල්ජියම් සහ ඉතාලි ගෝන් ප්‍රී තරග පිළිවෙලින් අගෝස්තු මස 30 වැනිදා සහ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගවලින් පසුව ඉතාලි (සැප්තැම්බර් 13), රුසියානු (සැප්තැම්බර් 27), ජර්මනි (ඔක්තෝබර් 11) සහ පෘතුගාල (ඔක්තෝබර් 25) යන ගෝන් ප්‍රී තරගද පැවැත්වීමට ෆෝමියුලා- I සංවිධායකයෝ සැලසුම් කරති.


-036

 


අදහස් (0)

70 වැනි සංවත්සර ගෝන් ප්‍රී තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.