Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙල 7-8 මැදිරිගිරියේදී

31 වැනි මහවැලි ක්‍රීඩා උළෙල 7-8 මැදිරිගිරියේදී

යොහාන් භාසුර - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්‍ෂතා උරගා ලබන වාර්ෂික ක්‍රීඩා මංගල්‍යය ලෙස සැළකෙන 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මැදිරිගිරිය බිසෝපුර ක්‍රීඩාංගණයේදී මේ මස 7 සහ 8 දෙදින පැවැත්වේ.

මලල ක්‍රීඩා උළෙලට පමණක් මහවැලි කළාප 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600 ක් පමණ සහභාගි වන බව මහවැලි අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂිකා (ක්‍රීඩා) ශ්‍රියාණි මල්ලිකා මහත්මිය පැවසුවාය. කණ්ඩායම් ක්‍රීඩා රැසකින් සමන්විත මෙම ක්‍රීඩා උළෙලට මෙවර හෑන්ඞ්බෝල් ක්‍රීඩාව පළමු වරට හඳුන්වා දුන්නේය.

මෙම ක්‍රීඩා උළෙල ඔස්සේ ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 කට අධික පිරිසක් දායාද කර තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශ්‍රීයානි කුලවංශ මහවැලි ‘එච්’ කළාපය නියෝජනය කරමින් ජය ලබා ආසියානු පදක්කම් දක්වා පැමිණියාය. ඊට අමතරව ශ්‍රී ලංකා හිටපු පාපැදි ශූරිය යූ. ඩී. ශ්‍රීයාලතා, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශ්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි ක්‍රීඩා උළෙල ඔස්සේ බිහිවු ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

රියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කළාපයේ ක්‍රීඩකයකු වන අතර ඔහු මහවැලි කලාපවලින් මෑතකදී බිහිවූ ප්‍රබලතම ක්‍රීඩකයෙකි.

මහවැලි සංකල්පයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1986 වසරේ මහවැලි ක්‍රීඩා උළෙල ගල්නෑවේදී ආරම්භ වූ අතර එතැන් සිට 2012 වසර දක්වා අඛණ්ඩව ක්‍රීඩා උළෙල පැවැති අතර 2013 සහ 2014 වසරවලදී මුදල් ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් ක්‍රීඩා උළෙල අතහැර දැමීය. වර්තමාන රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවතත් ක්‍රීඩා උළෙල අඛණ්ඩව පැවැත්වුණි.

මැදිරිගිරිය කළාපයේ ඩී. එස්. ලක්මාල් සහ හෂානි නවංජනා සමාරම්භක උළෙලේදී ක්‍රීඩා ගිනි සිළුව ක්‍රීඩාංගණයට රැගෙන ඒමට සූදානමින් සිටිති.  

තරගාවලියේ සමාරම්භක උත්සවය 7 වැනිදා පෙරවරු 8.00 ට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

සමාප්ති උත්සවය 8 වැනිදා පස්වරු 2.00 සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර හිටපු මැදි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා විශේෂ ආරාධිතයකු ලෙස මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ දයාශිත තිසේරා සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා (ක්‍රීඩා) ශ්‍රියාණි මල්ලිකා හපුතන්ත්‍රි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.


අදහස් (0)

31 වැනි මහවැලි ක්‍රීඩා උළෙල 7-8 මැදිරිගිරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.