Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2018 එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

2018 එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

නාමල් පතිරගේ - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස  පත්වූ ජයතිස්ස රුද්‍රිගු මහතා සිය පළමු කටයුත්ත ලෙස වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා තිබෙන ජාතික එල්ලේ තරගාවලියේ (2018) අවසන් මහ තරගය පවත්වා අවසන් කිරීමට සූදානම් වෙයි.

ඒ අතර පසුගිය වසර කීපයේදී එල්ලේ සම්මේලනය පන්දු සැපයුම්කරුවන්ට ණයවී ඇතැයි කියන රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි මුදල ගෙවා දැමීමටත් ජයතිස්ස මහතා සූදානමින් සිටියි.

පමුණුගම ‘‘සී ලයන්ස්’’ ක්‍රීඩා සමාජය නියෝජනය කරන නව සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා නව පත්වීමෙන් පසුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසර 2018 අවසන් මහ තරගය පවත්වා අවසන්වීමත් සමග මෙම වසරට නියමිත ජාතික එල්ලේ ශූරතා තරගාවලිය සඳහා කණ්ඩායම් වෙතින් කඩිනමින් අයැදුම්පත් කැඳවීම ද ආරම්භ කරන බවයි.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන ජයතිස්ස රුද්‍රිගු මහතා ඇතුළු එල්ලේ සම්මේලනයේ නව විධායක සභාව සෙනසුරාදා (29) පැවැති එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී (2020-22) පත්වූයේ නිතරගයෙනි.  

පොලිස් ආරක්‍ෂාව හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රීඩා සමාජ 89 කගේ සහභාගීත්වයෙන් කඩවත ‘‘සුමිත්‍රා’’ උත්සව ශාලාවේදී නිලවරණය පැවැත්වුණි. ඉතා සාමකාමීව එය පවත්වා අවසන් කිරීමට හැකිවූ බව නව ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා පැවසීය.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ නිලවරණය කැඳවීමේදී ප්‍රමාණවත් නාමයෝජනා ගණනාවක් ඉදිරිපත් නොවීමත් බහුතරයක් වන ක්‍රීඩා සමාජ නිලවරණයට සහභාගීවන බවට තහවුරු නොවීම නිසාත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී තිබුණි. ඒ හේතුවෙන් නිලවරණය අගෝස්තු 29 වැනිදා කැඳවන අවස්ථාවේදී එල්ලේ සම්මේලනයේ ලේකම් ධුරය දැරූ සිරිල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් පතා ලිපියක් යොමුකර තිබුණි.

එහිදී ඔහු අවධාරණය කර තිබුණේ එල්ලේ සම්මේලනයේ වලංගු මහ සභාවක් කැඳවීම සඳහා අවශ්‍යවන සාමාජික අයැදුම්පත් සංඛ්‍යාව ලැබී නොමැති බැවින් ව්‍යවස්ථානුකූලව එය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි. ඒ හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් එල්ලේ සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් පතා සිටින බවද එම ලිපියෙන් දක්වා තිබුණි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ උපදෙස් පැතීම හැරෙන්නට කිසිදු අවස්ථාවක තමන් නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර නැති බවයි.

29 වැනි සෙනසුරාදා නිලවරණය කැඳවන අවස්ථාවේදී විධායක සභාවේ ආසන 23 ක් සඳහා අයැදුම්පත් යොමුවී තිබුණේ අටක් පමණි. එහෙත් එය රැස්වූ අවස්ථාවේදී හිස්ව පැවැති සෙසු සියලු තනතුරු සඳහා එම අවස්ථාවේදී ඉදිරිපත් වූ නාමයෝජනා ස්ථීර කිරීමෙන් එකී ධුර පිරවීම සිදු කෙරුණි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාත්, ක්‍රීඩා රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතා
හා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා එල්ලේ සම්මේලනයේ ත්‍රිපුද්ගල උපදේශක සභාවට පත්කර ගන්නා ලදි.  1979 සිටම එල්ලේ ක්ෂේත්‍රයේ කටයුතු කරන, එල්ලේ ක්‍රීඩාවේ ඉහළම ප්‍රවීණයෙකු ලෙස පිළිගැනෙන එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන සිරිපාල රණසිංහ මහතා සම්මේලනයේ ක්‍රීඩා උපදේශක ලෙස විශේෂ පත්වීම් ලැබීය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එල්ලේ සම්මේලනයේ පසුගිය විධායක සභාව වසර 2017 දෙසැම්බර් 31 වැනිදා පත්විය. ඔවුන්ට එල්ලවූ ප්‍රධානතම චෝදනාව වූයේ නිල කාලය අවසන්වූ පසුගිය අගෝස්තු 29 වැනිදා තෙක් සම්මේලනයේ වාර්ෂික තරගාවලි ඇතුළුව සියලු සංවර්ධන වැඩසටහන් අඩපණව පැවැති බවයි.


ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය (2020 – 22)

සභාපති - ජයතිස්ස රොද්‍රගු මහතා (පමුණුගම සී ලයන්ස්)
ප්‍රධාන ලේකම් - ප්‍රියන්ත මද්දුමගේ මහතා (රාගම නව එකමුතු)
භාණ්ඩාගාරික – කේ.එම්.එස්. ප්‍රියංකර මහතා (කඩවත ශ්‍රී එක්සත්)
සංවිධායක – චාමර සේරසිංහ මහතා (තොටළඟ අරුණ)
ජ්‍යෙෂ්ඨ උපසභාපති - ධර්මදාස මීගොඩ මහතා (වේවැල්දූව ශ්‍රී ලංකා)
උපසභාපතිවරු:- ඒ.ඒ. විපුලසිරි ද සිල්වා (සහනගම ගැමුණු), ඩබ්.ඒ. ලයනල් ජෝතිරත්න (කොටහේන නවරැල්ල), ඊ. සුසන්ත සිල්වා (නාගොඩ ශ්‍රී මාලි) යන මහත්වරු
උපලේකම්වරු:- බී.ඒ. චමින්ද ජගත් කුමාර (පෑලියගොඩ රංගිකා), නන්දකුමාර ගුණවර්ධන (උදම්මිට මිත්‍ර ගාමිණී), පියල් පෙරේරා (රංගම්මුල්ල එක්සත්) යන මහත්වරු
උපභාණ්ඩාගාරික – ජගත් විජයවීර මහතා (ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා)
විධායක සභිකවරු:- වී.එන්. ජයතිස්ස (වැල්ලම්පිටිය රණකාමී), තිලකානන්ද පෙරේරා (බැන්ඩියාවත්ත ජයන්ති), එස්. සත්‍යදාස (සඳලංකාව තරුණ තරු), තිලංක විජේවීර (කිරිල්ලවල ශ්‍රී එක්සත්), ආර්.පී. ජයරත්න (තොටළඟ මයුර), ලසන්ත මදුරප්පෙරුම (මුදුන්ගොඩ හංස), හිරාන් ක්‍රිස්ටෝ (කිරිමැටියාගාර නවතරු), කේ.ඒ. චමීර ලක්ෂාන් (කෝපියාවත්ත ජය ශ්‍රී), ජනක හෙට්ටියාකන්ද (හැඳල පුංචි කුරුල්ලෝ), දිනේෂ් සම්පත් පෙරේරා (කැලණිය කැලණිතිස්ස), සරත් ක්‍රිෂාන්ත (කෙරවළපිටිය මුදිත), සැම්සන් නෝනිස් (කිඹුලාපිටිය නිර්මල) යන මහත්වරු.

 


අදහස් (0)

2018 එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.