Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා පවන් රත්නායක

19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා පවන් රත්නායක

ශානුක අරවින්ද - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අතරමගදී නතර කිරීමට සිදුවූ 2019/2020 අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට කොළඹ මහානාම විදුහලේ පවන් රත්නායක සමත් වී ඇත. මෙවර තරග වාරයේ වැඩිම ශතක ලාභියාද වන මෙම දකුණත් පිතිකරුවා, ශතක 6 ක් සහ අර්ධ ශතක 3 ක් සමග තරග 13 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1227 කි. ඉනිමක සාමාන්‍යය 87.64 කි.

මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවති තරගයක පළමු ඉනිමේදී නොදැවී ලකුණු 200 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 100 ක්ද රැස්කරමින් මෙවර තරග වාරයේ තරගයක ඉනිම් දෙකේදීම ශතක ලැබූ එකම පිතිකරුවා බවට පත්වීමටද පවන් සමත් විය. එම ශතක දෙකට අමතරව කොළඹ තර්ස්ටන් (108), කොළඹ ඉසිපතන (116), කුරුණෑගල මලියදේව (137) සහ මහනුවර ත්‍රිත්ව (නොදැවී 123) යන විදුහල්වලට එරෙහිවද ශතක ලබාගත් පවන්, කැලණිය ගුරුකුල (61), මහනුවර ශාන්ත අන්තෝනි (53) සහ ගාල්ල රිච්මන්ඞ් (76) යන විදුහල්වලට එරෙහිව අර්ධ ශතක ලබා තිබේ.

සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට සහභාගි වන ඔහු, එදා මෙදා තුර ඉතිහාසයේ පළමු පෙළ තරගයකදී ශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයාද වේ. මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතකයක් (නොදැවී 164) ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 17 යි දින 189 ක් විය. එහිදී වසර 41 ක් පැරණි පළමු පෙළ වාර්තාවක් බිඳ දැමීමටද පවන් සමත් වූ අතර 1979 වසරේදී සුදත් පැස්කුවෙල් විසින් වයස අවුරුදු 17 යි දින 265 ක් සම්පූර්ණ වී තිබියදී අයර්ලන්තයට එරෙහිව ශතකයක් ලබාගනිමින් එම වාර්තාව පිහිටුවණු ලැබ තිබිණ.

මේ වන විට පළමු පෙළ තරග 7 කට ක්‍රීඩා කර ඇති පවන්, එහිදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 351 ක් රැස්කරගෙන ඇත්තේ 50.14 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.

2017 වසරේදී ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම මෙහෙයවමින් මැලේසියාවේ තරග සංචාරයක නිරත වූ ඔහු, ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට නියෝජනය කරමින් පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව තරග 2 කටද ක්‍රීඩා කළේය. ඉකුත් වසරේදී (2019) පැවැති වයස 17 න් පහළ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා කොළඹ මහානාම විදුහල් වයස 17 න් පහළ කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද පවන් විසිනි.


අදහස් (0)

19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා පවන් රත්නායක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.