Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොං කොං තරගාවලියට 20ක සංචිතයක්

හොං කොං තරගාවලියට 20ක සංචිතයක්

නාමල් පතිරගේ - 2020 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙබරවාරි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා හොං කොං රාජ්‍යයේදී පැවැත්වෙන හොං කොං ආරාධිත ( සිව්කොන්) දැල්පන්දු ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කෙරිණ. හොං කොං ආරාධිත තරගාවලිය සඳහා මෙම සංචිතයෙන් ක්‍රීඩිකාවන් 12 දෙනකු නිර්දේශ කෙරෙන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය.
සත්කාරක හොං කොං දේශය ඇතුළුව ශ්‍රී ලංකාව, තායිලන්තය හා කෙන්යාව මෙම තරගාවලියට සහභාගී වෙති.

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවිය හා සහාය පුහුණුකාරිනී පී.ඩී. ප්‍රසාදි මහත්මිය මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනියෝ ලෙස කටයුතු කරති.  හොංකොං තරග සංචාරයෙන් පසුවත් ජාතික සංචිතයේ පුහුණුවීම් දිගටම පවත්වාගෙන යාමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

2018 අගෝස්තු මාසයේ සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ චතුරංගනී ජයසූරිය හැරෙන්නට එහි සෙසු සියලු ක්‍රීඩිකාවන් යළිත් ජාතික දැල්පන්දු සංචිතයේ ස්ථාන ලබාගැනීමට සමත්ව සිටිති. වසර ගණනාවකට පසුව සමෘද්ධි අබේගුණවර්ධන ජාතික සංචිතයේ ස්ථානයක් හිමිකර ගෙන සිටී.

හිටපු නායිකා චතුරංගනී ජයසූරිය මේ වන විට මවක් වීමට ආසන්නව සිටින බැවින් සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති ජාතික දැල්පන්දු සංචිතයේ තේරීම් සඳහා සහභාගී නොවූවාය.

දැනට ස්ථාපිත කර තිබෙන සංවර්ධන පුහුණු සංචිතයේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ශශිකා සමරසිංහ මහත්මිය පත්කර තිබේ.

වසර 2018 සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය අපරාජිතව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් එංගලන්තයේ ලිවර්පූල් නුවරදී 2019 ජුලි මාසයේ පැවැති ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රටවල් 16 කින් 15 වැනි ස්ථානයට වැටුණි. එහිදී ශ්‍රී ලංකාව ජයගත්තේ එක් තරගයක් පමණි. ඒ සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගයයි.


හොං කොං ආරාධිත දැල්පන්දු ‘ටෙස්ට්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය:
තර්ජනි ෂිවලිංගම්, හසිතා මෙන්ඩිස්, තිසාලා අල්ගම, තිළිණි වත්තේගෙදර, හසංජලී අමරවංශ, නව්ඡලි රාජපක්ෂ, ගයනි දිසානායක, ගයත්‍රි කෞෂල්‍යා, සුරේඛා කුමාරි, මන්දිරා මාරුතී, සමෘද්ධි අබේගුණවර්ධන, දුලංගි වන්නිතිලක, දර්ශිකා අබේවික්‍රම, දුෂානි බණ්ඩාර, දුලංගා ධනංජි, ටෙක්ලා ප්‍රියදර්ශනී, ඒලියන්තිනි සෙතුකවරාල්, මල්ෂා සත්සරණි, දිල්ෂානි කබ්රාල් හා නෙත්මා දයාරත්න.

 


අදහස් (0)

හොං කොං තරගාවලියට 20ක සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.