Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් දෝෂාභියෝගයක්

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් දෝෂාභියෝගයක්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉටු කළ නොහැකි කොන්දේසි මාලාවක් හමුවේ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට ඇතුළත් වීමට අපොහොසත් වූ ක්‍රීඩා සමාජ අනතුරක හෙළා ඇතැයි සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට යොමු කළ ලිපියක දැක්වේ.

නොවැම්බර් මස අග භාගයේදී පාපන්දු සම්මේලනය ආසියානු පාපන්දු සමුළුවේ අධීක්ෂණයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියට සිය ක්‍රීඩා සමාජය නිර්දේශ නොවීම පිළිබඳ කණස්සල්ල පළ කරමින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙම ලිපිය යොමුකර ඇත්තේ එහි ප්‍රධාන ලේකම් සුමිත් වල්පොල මහතා විසිනි.

ඒ මහතා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කරයි. මෙම ලිපියේ පිටපත් පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ යන  මහත්වරුන්ට යොමු කර තිබේ.

දීර්ඝ කරුණු සඳහන් කරමින් සුමිත් වල්පොල මහතාගේ ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කරන අර්ධ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලිය සඳහා පසුගිය වසර දෙකේදීම (2018-19) එෆ්.ඒ. කුසලාන අනුශූරතාව හිමි කර ගත් එමෙන්ම වසර සියයක් සපිරූ මෙරට එකම  පාපන්දු ක්‍රීඩා සමාජය වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට සුපර් ලීග් තරගාවලිය අහිමි කිරීමෙන් එහි  ඉදිරි පැවැත්මටද තර්ජනයක් එල්ල වී තිබෙන බවයි.

එම ලිපියේ සාරාංශගත කරුණු කීපයක් මෙසේය.
ශූරයන්ගේ තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් හතකට නව තරගාවලි කොන්දේසි මාලාවෙන් බලපෑමක් කර තිබේ. ජාවාලේන්, පොලිස්, මාතර සිටි, මාවනැල්ල සෙරන්ඩිබ් සහ අනුරාධපුරය සොලිඩ් යන කණ්ඩායම්වලටද එහිදී තරගාවලිය අහිමිව තිබේ.

සුපර් ලීග් තරගාවලියට හඳුන්වා දුන් මාර්ගෝපදේශ හා කොන්දේසි මාලාව සපුරාලීම ප්‍රායෝගිකව ක්‍රීඩා සමාජ රැසකට මහත් ගැටලු ඇතිකරන්නක් බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන්ම සූදානම් කළ යුතු ක්‍රීඩා සමාජ බලපත්‍රය සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම, කාර්යමණ්ඩල පවත්වාගෙන යෑම, විශේෂ ගිණුම් ඒකක පවත්වා ගෙන යෑම, නිත්‍ය අනුග්‍රාහකයකුගේ සේවය ලබා ගැනීම ආදිය. මෙහිදී සම්පූර්ණ කළ යුතු ඇතැම් කොන්දේසි ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත්ව සිටින ක්‍රීඩා සමාජවලට ඉටු කළ නොහැකි කටයුත්තක් බවට පත්ව තිබේ.

විශේෂයෙන්ම මෙම තත්ත්වය හමුවේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩයන් වෙනත් ක්‍රීඩා සමාජවලට මුදලට අලෙවිවීමේ තර්ජනයක්ද ඉස්මතු වී තිබේ. තරගාවලියට නිර්දේශ කර ගත් ආරක්ෂක හමුදාවන්ට අයත් කණ්ඩායම් ක්‍රීඩා සමාජ බලපත්‍රය සම්පූර්ණ කිරීමේදී එය  ඉටුකර ගත් ආකාරය ගැටලුකාරීය. සුපර් ලීග් තරගාවලියට නිර්දේශ කර ගත් කණ්ඩායම් කොන්දේසි මාලාව සම්පූර්ණ කිරීමේදී එක් කොන්දේසියක් ලෙස දැක්වෙන කනිෂ්ඨ කණ්ඩායම් පවත්වා ගෙන යාම සනාථ කරන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

මෙම තත්ත්වය තුළ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සුපර් ලීග් තරගාවලියට සහභාගි කර නොගැනීම තවත් ප්‍රශ්නකාරී වන්නේ වඩා පහළ කණ්ඩායම් කීපයකට ද අවස්ථාව සැලසී තිබීම තුළය. ඒ අතර ඇතැම් ක්‍රීඩා සමාජ කොන්දේසි මාලාව සපුරා ගත් බව පෙන්වමින් තරගාවලියට නිර්දේශවීම කෙතරම් සත්‍යයක් දැයි පැහැදිලි නැත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන රුපියල් කෝටි 11කට වැඩි වියදම් ඇස්තමේන්තුවක් එහි මූල්‍ය කමිටුවට ඉදිරිපත් වී තිබෙන ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට ශූරයන්ගේ තරගාවලියට (2018-19) ක්‍රීඩා කළ කණ්ඩායම් 10ක් නිර්දේෂ වී සිටියි. ඒ රිනවුන්, වෙන්නප්පුව නිව් යංග්න්ස්, රත්නම්, කොළඹ ක්‍රී.ස., ඩිපෙන්ඩර්ස් (යුද හමුදා), බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා), සීහෝක්ස් (නාවික හමුදා), නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස්, බේරුවල රෙඩ්ස්ටාර් හා කළුතර බ්ලූස්ටාර්ස් යන ක්‍රීඩා සමාජයි.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ නිත්‍ය පුහුණුකරුවකු වන මංජුල සිරිසේන මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මුළුමනින්ම සුභ පතන්නන්ගෙන් යැපෙන සිය ක්‍රීඩා සමාජය සුපර් ලීග් තරගාවලියට පිවිසීමේ කොන්දේසි ගණනාවක් ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි බවයි. එහෙත් ඒ හේතුවෙන්ම සිය ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපේ ක්‍රීඩා සමාජය පාපන්දු සම්මේලනයටත් වඩා පැරණිය. නමුත් අදත් අපේ ක්‍රීඩා සමාජය වගේම ඇකඩමිය පවත්වාගෙන යන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින පාපන්දු ලෝලීන් පිරිසකගේ මැදිහත්වීමෙන්. අපේ පුහුණුකරුවන් කීපදෙනා කටයුතු කරන්නෙත් ස්වේච්ඡාවෙන්. අපිට කිසිම දවසක නිත්‍ය අනුග්‍රාහකයෙකු හෝ වැටුප් ගෙවන කාර්ය මණ්ඩල හිටියෙත් නෑ. ඒ නිසා මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කරන්න අපි ක්‍රීඩා ඇමැතිවරයා ළඟට යන්නත් සූදානමින් සිටිනවා. මේ වගේ සිදුවීම් ගැන ක්‍රීඩා සමාජයක් හැටියට අපි දැඩි ලෙස කනගාටුවට පත්වෙලා ඉන්නවා.” යයි මංජුල සිරිසේන මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.   

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පළමු ශ්‍රී ලංකා ලීග් තරගාවලියෙන් ඉවත් කර සිටියත් මෙම තරගාවලියෙන් ඔවුන් මුළුමණින්ට ඉවත්කර ඇතැයි එයින් අදහස් නොවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය යොමුකළ ලිපිය පිළිබඳව ‘‘ලංකාදීප’’ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අනුර ද සිල්වා මහතා මෙසේද පැවසීය.

“මෙම තරගාවලිය ආසියානු පාපන්දු සමුළුවේ කොන්දේසි මාලාවකට අනුවයි පැවත්වෙන්නේ. අපිට එතන දී අපේ තීරණවලට එන්න බෑ. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සුපර් ලීග් තරගාවලියට පනවනු කොන්දේසි මාලාව සම්පූර්ණ කරන්න අපොහොසත් වුණා. ඒ ගැන ඔවුන් මේවනතෙක් අපිට අභියාචනයක් යොමු කරලා තිබ්බෙත් නෑ. “

“පළමු තරගාවලියට නිර්දේෂ නොවුණත් ඊළඟ තරගාවලියට ඔවුන්ට කොන්දේසි සපුරලා ඉදිරිපත් වෙන්න අවස්ථාව තිබෙනවා. “

ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය මෙම තරගාවලිය නොවැම්බර් අගභාගයේ දී ආරම්භ කිරීමට සැළසුම්කර තිබුණත් රට තුළ කොවිඩ් දෙවැනි රැල්ලක අනතුරක් උද්ගතවී තිබෙන තත්ත්වයක් තුළ එය මේ වන විට තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 10 සඳහා සුපිරි මුල්‍යාධාර, ගෙවීම්, ප්‍රවාහන පහසුකම් හැරෙන්නට එක් ක්‍රීඩා සමාජයක් සඳහා පන්දු 30 ක් බැගින් හා එක් ක්‍රීඩකයෙකු සඳහා ක්‍රීඩා කමිස තුනක් බැගින් ද ප්‍රද‌ානය කෙරේ. ශූරයන්ගේ ත්‍යාග මුදල රුපියල් මිලියන පහක් හෝ ඊට වැඩි වනු ඇත.


අදහස් (0)

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් දෝෂාභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.