Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙහෙයවීමට ක්‍රියාකාරී කමිටුවක්

සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙහෙයවීමට ක්‍රියාකාරී කමිටුවක්

නාමල් පතිරගේ - 2021 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රේල් 17 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සම්බන්ධීකරණ  කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තනතුරු දරන්නන් නොවන පාපන්දු  ප්‍රවීනයන්ගෙන් සමන්විතව එම ක්‍රියාකාරී කමිටුව පත් කිරීමට යෝජනා වී තිබේ.

පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය (2021-24) ලබන මැයි 31 වැනිදා පැවැත්වෙන අතර එහි බලපෑම්වලින් තොරව සුපර් ලීග් තරගාවලිය පවත්වාගෙන යාම ක්‍රියාකාරී කමිටුව පත්කර ගැනීමේ අරමුණයි.  තරගාවලියේ සම්බන්ධීකාරක ලෙස නිල වශයෙන් පත්කර සිටින ජස්වර් උමාර් මහතා දැන් පැවැත්වෙන එහි පෙර පුහුණු කරන වටයෙන් ඉවත්ව සිටීමත් ඉදිරි තරගාවලිය සඳහා ක්‍රියාකාරි කමිටුවක් යෝජනාවීමට හේතුවී තිබේ.

පුහුණු වටයේ විනිසුරුවන් නිර්දේශ කිරීමේ දී පැන නැගුණු බව කියන මත ගැටුමක් හේතුවෙන් ජස්වර් උමාර් මහතා එහි අතරමගදි සම්බන්ධීකාරක ධුරයේ කටයුතුවලින් ඉවත්ව සිටියේය. කෙසේ වුවත් තරගාවලිය නිල වශයෙන් අප්‍රේල් 17 වැනිදා ආරම්භවීමෙන් පසුව ඔහු සම්බන්ධීකාරක ධුරයේ කටයුතු කිරීම යළිත් ආරම්භ කරනු ඇතැයි වාර්තාවේ.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම්වරයකු වන ජස්වර් උමාර් මහතා එළැඹෙන නිලවරණයේ දී සභාපති ධුරයට නාම යෝජනා බාරදීමට අපේක්ෂාවෙන් සිටියි.

අඟහරුවාදා (23) කොළඹ පිල හා වෙන්නප්පුව නිව් යංග්ස් පිල අතර ද ‘ඩිෆෙන්ඩර්ස්’ පිල හා කළුතර බ්ලූ ස්ටාර්ස් පිල අතර ද බදාදා නාවලපිටිය අප් කන්ට්‍රි ලයන්ස් පිල හා සීහෝක්ස් පිල අතර ද රිනවුන් පිල හා රත්නම් පිල අතර ද එම ඉතිරි තරග හතර සුගතදාස පිටියේ දී පැවැත්වීමට නියමිතය.

පුහුණු වටයේ තරගයක දී වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායමට එරෙහිව නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 7-0ක ඉතා පහසු ජයක් ලැබීය. මොහෙමඩ් සිෆාන් එහිදී විනාඩි 12ක් තුළ දී ගෝල ත්‍රිත්වයක් ලැබීය. ප්‍රතිවාදී නිව්යංග්ස් කණ්ඩායම ගොනු කළ විරෝධතාවයක් හමුවේ අප් කන්ට්‍රි ක්‍රීඩකයෝ මෙම තරගයේ දී සිය විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා ඉවත් කරමින් තරග වැදුණාහ.

එදිනම පැවති තවත් තරගයක දී කළුතර බ්ලූස්ටාර්ස් පිල රිනවුන් පිලට එරෙහිව ගෝල 2-1 ක ජයක් ලැබීය. පුහුණු වටයේ තවත් තරග දෙකක දී සීහෝක්ස් කණ්ඩායම විසින් බ්ලූඊගල්ස් කණ්ඩායම පරාජය කළේ ගෝල 2-1 කට ය. ඒ අනුව පෙර පුහුණු වටය පුරා බ්ලූඊගල්ස් කණ්ඩායම කිසිදු තරගයක ජය වාර්තා කර නැත.

රත්නම් කණ්ඩායම බේරුවල රෙඩ්ස්ටාර් කණ්ඩායමට එරෙහිව ලද ගෝල 2-1ක ජය ඔවුන් පුහුණු වටයේ ලද දෙවැනි ජයයි. පුහුණු වටයට ඇතුළත් මුළු තරග ගණන 20 කි.

පුහුණු වටයට සහභාගි වූ සියලු කණ්ඩායම් වෙත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරගාවලියේ ආරම්භ ගාස්තු ලෙස සලකා රුපියල් මිලියනයක් බැගින් ප්‍රදානය කර තිබේ.


අදහස් (0)

සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙහෙයවීමට ක්‍රියාකාරී කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.