Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්මේලන 7 කට ක්‍රියාකාරී කමිටු

සම්මේලන 7 කට ක්‍රියාකාරී කමිටු

නාමල් පතිරගේ - 2020 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත පරිදි නිලවරණ පවත්වා අවසන් කිරීමට මෙතෙක් අපොහොසත්ව සිටින ජාතික ක්‍රීඩා සංගම් හතක් සඳහා නව නිලධාරී මණ්ඩල පත්වන තෙක් තාවකාලික ක්‍රියාකාරී කමිටු පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් නිර්දේෂ ඉල්ලා ඇතැයි වාර්තාවේ. මෙම වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ සහන කාලයට අනුව මෙම 30 වෙනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් ගණන හතකි.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා ආධුනික මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් සඳහා මෙම 30 වෙනිදාට පෙර නිලවරණ පවත්වා නව විධායක සභා පත්කර ගැනීම කළ යුතුව ඇත. කෙසේ වුවත් රට තුළ උද්ගතව පවතින හදිසි තත්ත්වය යටතේ එකී ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකට මෙම 30 වෙනිදාට පෙර නිලවරණය කැඳවීම දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික සංගම් විෂය බාරව කටයුතු කරන සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂිකා ශීලා ද සේරම් මහත්මිය හා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්ෆොන්සෝ මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරුද්ධ මහතාගෙන් උපදෙස් පතමින් ලිපියක් යොමුකර තිබේ. රට තුළ දැන් ඇති වී තිබෙන තත්ත්වයට අනුව සාධාරණ හේතූන් මත නිලවරණය (2020) පැවැත්වීමට මෙතෙක් අපොහොසත්වී සිටින ජාතික ක්‍රීඩා සංගම් සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් ඔවුන් විසින් මෙම ලිපියෙන් වැඩිදුරටත් විමසා තිබේ.

නොවැම්බර් 30 වෙනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළයුතු ජාතික ක්‍රීඩා සංගම් සඳහා නියෝග පැනවිය යුත්තේ ගැසට් නිවේදනයක් මගිනි. එහෙත් එය මෙතෙක් නිකුත් වී නොමැති තත්ත්වයක් තුළ විෂයබාර නිලධාරීන් විසින් මෙම උපදෙස් පැතීම සිදුකර තිබේ.

ලංකාදීප කළ විමසුමකදී ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ සිය සම්මේලනය යොදා ගත් පරිදි මෙම 30 වෙනිදා නිලවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි. එදින පෙරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය නව නීතිරීතිවලට අනුකූලව නිලවරණය පැවැත්වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.

මෙම වසරේ මැයි 31 වැනිදාට පෙර සම්මත කාලසීමාව තුළ නිලවරණ පවත්වා අවසන් කළ යුතු යයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණ කැඳවීම අත්හිටුවා තිබේ. ඒ එම සම්මේලනයන්හි පසුගිය පාලන සමයන් සම්බන්ධයෙන් දැනට සිදු කරමින් පවතින විමර්ශන හේතුවෙනි.


අදහස් (0)

සම්මේලන 7 කට ක්‍රියාකාරී කමිටු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.