Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 2020න් ගිළිහෙයි

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 2020න් ගිළිහෙයි

යොහාන් භාසුර - 2020 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල් ක්‍රීඩා තරගාවලිය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය (2020) පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ දයා බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. මෙම ක්‍රීඩා උළෙල මේ වසරේද පැවැත්වීමට නියමිතව තිබුණේ 36 වැනි වරටය.

මෙම දැවැන්ත ක්‍රීඩා තරගාවලියට කණ්ඩායම් ක්‍රීඩා ඇතුඵ ක්‍රීඩා 25 ක් පමණ ඇතුළත් වන අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙති. කණ්ඩායම් ක්‍රීඩා සහ සෙසු ක්‍රීඩා අදියර තුනක් යටතේ ද, මලල ක්‍රීඩා සිවුවැනි සහ අවසන් අදියර යටතේද පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.

කොට්ඨාස, කළාප සහ පළාත් යන අධ්‍යාපන පරිපාලන අංශ යටතේ තරගාවලි පවත්වා පළාත් තරගාවලිවලින් ජය ලබන කණ්ඩායම් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබයි.

‘කොරෝනා’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස 12 වැනිදා ශ්‍රී ලංකාවේම පාසල් වසා දමන විට කොට්ඨාස ක්‍රීඩා තරගාවලි පමණක් පවත්වා අවසන්ව තිබූ අතර මැයි මස මැද පමණ වන විට පළාත් තරගාවලි ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණි.

මෙවර 36 වැනි සමස්ත ලංකා ක්‍රීඩා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර වන ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සහ සමාප්ති උළෙල ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබුණි. ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ දයා බණ්ඩාර මහතා මේ පිළිබඳව තව දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය මේ තියෙන තත්ත්වය අනුව කරන්න බැරි වෙයි. ඉදිරි මාසයකදී පමණ අනුමැතිය ලැබුණත් අපිට කරන්න අමාරු වෙනවා”

“පාසල් ආරම්භ කරන දිනයක් තාම නෑ. අපි කියමු තවත් සති දෙකකින් විතර පාසල් ආරම්භ කළා කියලා. එහිදී පළමුවෙන්ම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ වසර යන විභාග ඉලක්ක කළ පංතියි පළමුවෙන්ම ආරම්භ කරන්නේ. මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට නම් සමස්ත පාසල් පද්ධතියම ආරම්භ විය යුතුයි”

“අපිට ඉහළින්නේ ‘කොරෝනා’ කමිටුව තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඒ කමිටුවෙන් නිර්දේශය තියෙන්නේ කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන්න රැස්කරන්න එපා කියලයි”

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්පර්ෂ වන ක්‍රීඩා පවත්වන්න එපා කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. වොලිබෝල්, දැල්පන්දු, ක්‍රිකට්, මල්ලවපොර, කරාතේ එහෙම නැත්තන් සහාය දිවීමේ ඉසව්වකදී යෂ්ඨි හුවමාරුවක් කළත්, ගැටෙනවානේ. 10 දෙනකුට වඩා රැස්කරන්න එපා කියලා උපදෙස් දීලා තිබියදී ක්‍රීඩා පවත්වන්න බෑනේ”

“සමස්ත ලංකා ජයග්‍රහණයකට විශ්ව විද්‍යාලයට සහ විද්‍යා පීඨයට ඇතුළත්වීමේදී ලකුණක් ලැබෙනවා. ඒ පිළිබඳව අවදානය යොමු කරලා කොටසක් හෝ පවත්වන්න කියලත් අදහස් කරලා තියෙනවා. වයස 18 න් සහ 20 න් පහළ වයස් කාණ්ඩ දෙක පමණක් හෝ කරන්න පු`ඵවන්නන් හොඳයි. රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් අපි ඒ වයස කාණ්ඩ දෙකේ තරග පමණක් පවත්වනවා”

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්පර්ෂ නොවන ක්‍රීඩා කීපයක් තියෙනවා. නමුත් ඒවා පමණක් කරන්න බෑ. එහෙම වුණොත් පිරිසකට අසාධාරණයි. එහෙම වුණොත් ඇතැමුන්ට අසාධාරණයක් වුණා කියලා උසාවි යන්නත් පු`ඵවන්. ඒ නිසා එකම වයස් කාණ්ඩයේ සියලුම ක්‍රීඩා කරන්න ඕනේ”

“අපි දැනට ලිපියක් සකස් කරලා තියෙනවා පාසල් ආරම්භ කළ පසු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දුරස්ථභාවය තබාගෙන ශාරීරික යෝග්‍යතා ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න” යැයි බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 2020න් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.