Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂෙලින්ඩා - ඔනලි අහසින් පාත්වෙති

ෂෙලින්ඩා - ඔනලි අහසින් පාත්වෙති

නාමල් පතිරගේ - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශයෙන් තොරව ක්‍රීඩිකාවක් ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් වාර්තාවේ. එම ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මීටර 200 (කාන්තා) ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් දෙදෙනකු නිර්දේශ කර තිබියදී ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේද නිර්දේශයෙන් තොරව ඒ සඳහා ෂෙලින්ඩා ජැන්සන් ඇතුළත් කිරීම මේ වනවිට ගැටලුවකට තුඩුදී තිබේ.

නේපාලයේ කත්මන්ඩු නුවරදී 13 වැනි සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බර් 1 වැනිදා ආරම්භ වන අතර එහි මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා කත්මණ්ඩු නුවර ‘දසරත් රංගශාලා’ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සාග් ක්‍රීඩා උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට  නිල වශයෙන් නිර්දේශ වී සිටින්නේ නදීෂා රාමනායක (තත්පර 24.49) හා ෂර්මිලා ජෑන් (තත්පර 24.52) ය. ඒ සාග් ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා කේවල ඉසව්වක් සඳහා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනකු නිර්දේශ කිරීමේ පදනම මතය.

සාග් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් නිර්දේශ ලබාගත් පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගි වූ ෂෙලින්ඩා ජැන්සන් එහිදී ආබාධ තත්ත්වයක් දක්වමින් මූලික වටය පැවැත්වෙත්දී තරගාවලියෙන් ඉවත්ව ගිය බව සඳහන් වේ. සාග් ක්‍රීඩා උළෙලට ඇතුළත්වීම සඳහා ඇය ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව කියන අභියාචනාවද ප්‍රතික්ෂේප වී තිබේ.

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ප්‍රකාශ කරන්නේ ඇය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 66 වැනි අවස්ථාව ලබා ගනිමින් මේ වන විට ඇතුළත්ව සිටියත් ක්‍රීඩා උළෙලට නිර්දේශ වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නිල වශයෙන් ඇතුළත් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 දෙනකු පමණක් බවයි. ඒ හේතුවෙන් ෂෙලින්ඩා සාග් ක්‍රීඩා තරග සංචාරයට සහභාගි වුවත් ඇයට එහිදී තරග වැදීමේ අවස්ථාව කිසිදු ලෙසකින්වත් හිමි නොවන බවත් තේරීම් කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මීටර 200 (කාන්තා) ඉසව්වේ දක්‍ෂතා අතරේ ඇය පසුවන්නේ සිව්වැනි ස්ථානයේය. එහිදී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ඇය තත්පර 24.69 ක කාලයක් එම ඉසව්වෙන් වාර්තා කර ඇත.

තේරීම් ක්‍රියාපටිපාටියට අවනත නොවූ බව කියන දකුණු ආසියානු රන් පදක්කම්ලාභී උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර, යගුලිය හා මිටිය විසිකිරීමේ ඉසව්හි ජාතික තරග වාර්තාවේ හිමිකරු චරිත් කපුකොටුව, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ දුර පැනීමේ ක්‍රීඩක ප්‍රසාද් විමලසිරි ආදී ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකුද සාග් ක්‍රීඩා උළෙල සඳහා තරග මැදීමට අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේපවීම ද එහිදී කැපී පෙනේ.

මේ හා සමාන සිදුවීමක් සාග් ක්‍රීඩා උළෙලට නිර්දේශ වී සිටින ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමෙන් ද වාර්තා වේ. ඒ මීටර 200 (කාන්තා) සමනල ආර ඉසව්ව සඳහා කලින් නිර්දේශ වී සිටි අනිකා කපූර් වෙනුවට පසුව ඔනලී යහම්පත් ඇතුළත් කර තිබීමයි.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම සාග් ක්‍රීඩා උළෙලට නිර්දේශ වී සිටින බව වාර්තා වුවත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මීටර 200 (කාන්තා) සමනල ආර ඉසව්වට මේ වනවිට සිය නිර්දේශයෙන් තොරව ඔනලී යහම්පත් ඇතුළත් කර තිබෙන බවට වාර්තා වන බවයි.

මෙය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කර ඇතැයි ද එහි ප්‍රධානියෙකු ඊයේ පස්වරුවේදී ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසීය.


අදහස් (0)

ෂෙලින්ඩා - ඔනලි අහසින් පාත්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.