Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කණ්ඩායමට 753 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමට 753 ක්

නාමල් පතිරගේ - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවලදී ලබන බදාදා (27) සිට ආරම්භවන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සභභාගිත්වය වෙනුවෙන් නිල අවසරපත් 753 ක් සූදානම් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. එය සමස්ත නිල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 ක් හා නිලධාරීන් 188 ක් වෙනුවෙනි.

මීට අමතරව ක්‍රීඩා උළෙලේදී නිරීක්‍ෂකයන් ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතය. ක්‍රීඩා ඉසව් 27 ක් 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට ඇතුළත් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් ලබන සඳුදා (25) සිට පිටත්වේ.

වොලිබෝල් කාන්තා හා පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා ඉසව් කීපයකට සහභාගී වන තවත් ශ්‍රී ලංකා කණ්ඩායම් කීපයක් එදින කත්මන්ඩු නුවර බලා පිටත්ව යයි. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භවන දෙසැම්බර් 1 වැනිදාට පෙර තවත් ක්‍රීඩා ඉසව් කීපයකට අයත් ශ්‍රී ලංකා කණ්ඩායම් එහි පිටත්ව යාමට නියමිතය.

කෙසේ වුවත් මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 10 ක් ෆොකාරා නගරයේදී පැවැත්වේ. එම නගරය කත්මන්ඩු අගනුවර සිට කිලෝමීටර 200 ක දුරකින් පිහිටි දුර බැහැර නගරයකි. ඒ හේතුවෙන් එහි පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ ඉසව් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් කත්මන්ඩු වෙත යොමු නොකර කෙළින්ම ගුවන් මගින් ෆොකාරා නගරයට යොමු කිරීම පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එය නේපාලයේ මධ්‍යයට වන්නට පිහිටි ශීත දේශ ගුණයකින් සමන්විත කඳුකර නගරයකි. පාපන්දු හා විස්සයි-20 ක්‍රිකට් (කාන්තා) ඉසව් පැවැත්වෙන්නේ ද ෆොකාරා නගරයේදීය.

මේ අතර ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම ක්‍රීඩික ක්‍රීඩිකාවන් 21 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ මීටර 200 - සමනල ආර - කාන්තා ඉසව්ව සඳහා අනීකා කපූර්ට අමතරව ඔනලී යහම්පත් ද නිර්දේශ කිරීමෙනි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවැසුවේ තමන් අවසන් නිර්දේශය ලබාදුන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කණ්ඩායමට ඔනලී යහම්පත් ඇතුළත්ව නොසිටි බවයි.

ඔනලී යහම්පත් තේරීම් තරගාවලිය ජය ලැබූ ක්‍රීඩිකාව වන අතර අනීකා විදේශගතව සිටියදී සහභාගි වූ තරගයකදී එම ඉසව්වෙන් හොඳම දක්ෂතාවය වාර්තා කරමින් සාග් ක්‍රීඩා උළෙලට නිර්දේශ වූ ක්‍රීඩිකාවයි. ජල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ චක්‍රලේඛයන්ට අනුව යමින් තමන් මීටර 200 සමනල ආර කාන්තා ඉසව්වට අනීකා කපූර් නිර්දේශ කළ බවයි.

වසර අටකට පසුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට විස්සයි-20 ක්‍රිකට් ඉසව්ව ඇතුළත් කිරීමේදී මෙවර විශේෂත්වය කාන්තා තරගාවලියක් ද ඇතුළත් විය.

සාග් විස්සයි-20 ක්‍රිකට් තරග මාලාව දෙසැම්බර් 2 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වේ. කත්මණ්ඩු ‘ටි්‍රබුහුවාන්’ විශ්වවිද්‍යාල පිටියේදී විස්සයි-20 ක්‍රිකට් (පිරිමි) ඉසව්ව පැවැත්වේ.

ඒ සඳහා සහභාගි වන්නේ වයස 23න් පහළ කණ්ඩායම්ය.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට 753 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.