Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු මුල් පුටුව කනක හේරත්ට

මේසපන්දු මුල් පුටුව කනක හේරත්ට

ශානුක අරවින්ද - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලධාරි මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ඉකුත් සිකුරාදා (14 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී සංගමයේ නව සභාපතිවරයා ලෙස වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා නිතරගයෙන් පත්විය.

සභාපති ධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබ සිටි සෙසු අපේක්ෂකයා වූ හිටපු ජාතික මේසපන්දු ක්‍රීඩක මන්සිල් මුතාලිබ් මහතා අවසන් මොහොතේ සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය. ඒ හේතුවෙන් ඡන්දයක් නොපවත්වාම නව සභාපතිවරයකු පත්කර ගැනීමට ඔලිම්පික් කමිටු උප ලේකම් චන්දන ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලවරණ කමිටුව තීරණය කළේය.

කනක හේරත් මහතා මින් පෙර 2017 වසරේදීද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම වසරේදී දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීමටද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට හැකි විය. එතැන් පටන් මේ දක්වා වසර 3 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවේදී පැවැති එකම ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියද එය විය.

පුරප්පාඩු සහිත තවත් තනතුරු 4 සඳහා එක් නාමයෝජනාව බැගින් ඉදිරිපත්වී තිබීම හේතුවෙන් ඒ සඳහාද ඡන්දයක් නොපැවැත්විණ. එම නිලධාරීන් සිවුදෙනාද නිතරගයෙන්ම පත්වූහ. එහිදී සභාපති ධූරය සඳහා ඉදිරිපත් කර තිබූ නාමයෝජනාව ඉල්ලා අස්කරගත් මන්සිල් මුතාලිබ් මහතා සහ විජය ගුණරත්න මහතා සංගමයේ උප සභාපතිවරු ලෙසත්, එම්.ඒ. මල්ලවාරච්චි මහතා සහකාර ලේකම්වරයා ලෙසත්, ටිනූෂ දිල්හාර මහතා භාණ්ඩාගාරිකවරයා ලෙසත් පත්වූහ.

නව නිලධාරීන් පත්වීමෙන් අනතුරුව සංගමයේ වැඩකටයුතු පහසු කරගැනීම සඳහා නව තාක්ෂණික කමිටුවක් පත්කර ගැනීමටද පියවරගත් අතර එම තාක්ෂණික කමිටුවට පත්වන නිලධාරීන් පස්දෙනාගෙන් තිදෙනෙක් අනිවාර්යෙන්ම ජාතික මට්ටමේ මේසපන්දු ක්‍රීඩකයන් විය යුතු බවටද එහිදී යෝජනා සම්මත විය.

සංගමයේ ලේකම්වරයා ලෙස ශ්‍රීනාත් විජේතුංග මහතා තේරී පත්ව සිටි අතර උප භාණ්ඩාගාරිකවරයා ලෙස රනිල් දිල්රන් මහතාද, උප සභාපතිවරු හය දෙනෙක්ද පත්ව සිටියහ. ලලිත් ලියනගේ, ප්‍රභාත් නිමේෂ්, අශේන් සසංක, නාමල් ගූණසේකර, සදිසි නිරාෂා, මධුෂානි පෙරේරා යන මහත්ම මහත්මීහු මේ වන විට සංගමයේ සෙසු උප සභාපතිවරු සහ උප සභාපතිනියන් ලෙස කටයුතු කළහ.

මේසපන්දු සංගමයේ නිලධාරී මණ්ඩලය

සභාපති
කනක හේරත් මහතා
උප සභාපතිවරු
ලලිත් ලියනගේ මහතා, ප්‍රභාත් නිමේෂ් මහතා, අශේන් සසංක මහතා, විජය ගුණරත්න මහතා, මන්සිල් මුතාලිබ් මහතා, නාමල් ගූණසේකර මිය, සදිසි නිරාෂා මෙනවිය සහ මධුෂානි පෙරේරා මිය
ලේකම්
ශ්‍රීනාත් විජේතුංග මහතා
සහකාර ලේකම්
එම්.ඒ. මල්ලවාරච්චි මහතා
භාණ්ඩාගාරික
ටිනූෂ දිල්හාර මහතා
උප භාණ්ඩාගාරික
රනිල් දිල්රන් මහතා


අදහස් (0)

මේසපන්දු මුල් පුටුව කනක හේරත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.