Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 100 කෘතිම ධාවන පථ කිහිපයක්

මීටර 100 කෘතිම ධාවන පථ කිහිපයක්

නාමල් පතිරගේ - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීටර 100ක දුරකින් යුත් කෘත්‍රිම ධාවන පථ කිහිපයක් දිවයිනේ තෝරා ගත් ක්‍රීඩාංගණ කිහිපයක ඉදිකර දීමට තමන් මැදිහත් වන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ප්‍රතිඥා දී තිබේ.

මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් පිරිසක් හා නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. එහිදී මලල ක්‍රීඩා සංගමයට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි පස් අවුරුද්දක් සඳහා වන මලල ක්‍රීඩා සංවර්ධන දැක්මක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.

ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එහි ලේකම් ප්‍රේමා පින්නවල, ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

ඔලිම්පික් පදක්කම් දෙකක් ද ඇතුළු අන්තර් ජාතික තරග මාලාවලදී ශ්‍රී ලංකාවට මෙතෙක් වැඩිම පදක්කම් දිනා දුන් මලල ක්‍රීඩාව මෙරට හිමි කරගෙන තිබෙන සුවිශේෂී තත්ත්වය පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාට පැහැදිලි කරමින් එහි ඉදිරි දැක්ම සඳහා නව යෝජනාවලියක් ද ඉදිරිපත් කර සිටි බව වාර්තා වේ. ඒ පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙන ඔහු දේශීය මලල ක්‍රීඩාවේ ඉදිරි ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම දායකත්වය ලබාදීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් තමන්ට මසක් ඇතුළත දී ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ, දියගම මහින්ද රාජපක්ෂ, මහනුවර බෝගම්බර, මාතලේ බර්නාඩ් අලුවිහාරේ යන දේශීය මලල ක්‍රීඩාවේ තරග හා පුහුණුවීම් සඳහා වැඩිම දායකත්වයක් ලබාගැනෙන ක්‍රීඩාංගණවල වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

මෙම ක්‍රීඩාංගණවල පවතින බව කියන වත්මන් අසතුටුදායක තත්ත්වයන් මෙන්ම එම ඇතැම් ක්‍රීඩාංගණවල නව ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් තමන් වහාම අවධානය යොමු කර සිටින බව ද එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹට පැමිණීමේදී නවාතැන් ගන්නා නේවාසිකාගාරවල වත්මන් තත්ත්වය ගැනත් එහිදී දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී අවධානයට යොමු වී තිබේ.

මේ අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹදී ලැඟුම් ගන්නා ප්‍රධානතම නේවාසිකාගාරයක් වන ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරය ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහිදී එහි පවතින අඩුපාඩු ගණනාවක් ඇමැතිවරයාගේ අවධානයට යොමු වී තිබෙන අතර විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිදන ඇඳන් දැඩි ලෙස අබලන්ව පැවැතීම ගැන එහි බලධාරීන්ට දැඩි ලෙස දොස් පවරා තිබේ.

නේවාසිකාගාරයේ පවතින එම අඩුපාඩු වහාම සැකැසීමට පියවර ගෙන තමන්ට දැනුම් දෙන ලෙසත් එහි බලධාරීන්ට ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

වසර 2022ට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරය ඉහළින්ම සැමරීම සඳහා වන උත්සවයක් සංවිධානය කිරීමට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවේදී අවධානයට යොමු වී තිබේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද ක්‍රීඩා ඇමැතිවරයා එහිදී එකඟ වී තිබේ.

මේ අතර දැනට ශ්‍රී ලංකාවේ සේවය කරන කෙන්යානු හා කියුබානු මලල ක්‍රීඩා පුහුණුකරුවන් හැරෙන්නට හෙල්ල විසි කිරීමේ ඉසව්වේ විශේෂඥ පුහුණුවීම් සඳහා ඉදිරියේදී මෙරටට පින්ලන්ත ජාතික පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් ඇමැතිවරයා දැනුම්වත් කර සිටියේය.


අදහස් (0)

මීටර 100 කෘතිම ධාවන පථ කිහිපයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.