Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් ක්‍රීඩකයෝ 47-31 කින් යුද හමුදාව පරාජය කරති

පොලිස් ක්‍රීඩකයෝ 47-31 කින් යුද හමුදාව පරාජය කරති

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී ඊයේ  (22 වැනිදා) පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 47-31 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ පෙරළිකාරයන් වන පොලිස් පිල ලැබූ අටවැනි ජයග්‍රහණය මෙය වේ.
පොලිස් පිල ගෝල හයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 47 රැස්කළේය. යුද හමුදා පිලට ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 31 ක එකතු විය.

පොලිස් පිල තරගය ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකරගැනීමේ ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-19 ක් ලෙස පෙරමුණේ පසුවිය.

තරගය ආරම්භය වී මිනිත්තු තුනක් ගතවීමට පෙර යුද හමුදා පිලේ ධනුක ජීවන්, පොලිස් ගෝල සීමාව ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. ඒ අනුව යුද හමුදාව ලකුණු 5-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

පොලිස් පිලට 10 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු හතක් තුළ කසුන් රාජකරුණා සහ රසිත් සිල්වා සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක යොහාන් පීරිස් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 14 ක් එකතු විය. පොලිසිය ලකුණු 14-5 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය.

සුරංග කසුන් 22 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් පොලිසිය ලකුණු 19-5 ක් ලෙස තව දුරටත් ශක්තිමත් විය.

යුද හමුදා පිලට 26 වැනි මිනිත්තුවේදී ෆිජී ක්‍රීඩක ටොමාසි රවොයුවොයු උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර චමත් ප්‍රනාන්දු එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 14-12 ක් බවට පත්විය.

ප්‍රිමේෂ් ධනුෂ්ක 30 වැනි මිනිත්තුවේදී පොලාස් පිලට සිවුවැනි උත්සාහක දිනුම පොලිසියට එකතු කළ අතර යොහාන් පීරිස් එයට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු තත්ත්වය 26-12 ක් බවට පෙරළුණි.

යුද හමුදා පිලේ තරිඳු බණ්ඩාර 35 වැනි මිනිත්තුවේදී පොලිස් ගෝල සීමාව ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. එහි ගෝල ප්‍රවර්ථනය චමත් ප්‍රනාන්දු සාර්ථක කිරීමෙන් ලකුණු තත්ත්වය 26-19 ක් බවට පත්ව පොලිස් පිල තරමක් සසළ විය.

රසිත් සිල්වා සිය දෙවැනි උත්සාහක දිනුම පොලිසියට 38 වැනි මිනිත්තුවේදී එකතු කළ අතර යොහාන් පීරිස් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 33-19 ක් බවට පත්විය.

- 048


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ 47-31 කින් යුද හමුදාව පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.