Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි ක්‍රීඩකයන් දෙදෙනකුට සිව් වසරක තරග තහනමක්

පාපැදි ක්‍රීඩකයන් දෙදෙනකුට සිව් වසරක තරග තහනමක්

නාමල් පතිරගේ - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපැදි ක්‍රීඩකයක් වන අෂේන් දිල්ෂාන් මාරප්පෙරැම හා සනත් ප්‍රසන්න ජයසිංහ දෙදෙනාගේ පළමු මුත්‍රා නියැදි පරීක්‍ෂාවේදී තහනම් උත්තේජක සංඝටක අඩංගු වී ඇති බව හෙළි වී තිබේ. එබැවින් ඔවුන්ට සිව් වසරක තරග තහනමක් හා එම කාල සීමාව තුළදී සියලු ආකාරයේ ක්‍රීඩා කටයුතුවල නිරත වීම හා පුහුණුවීම්වල නිරත වීම තහනම් කර තිබේ.

මෙම ක්‍රීඩකයෝ දෙදෙනා අනුරාධපුරයේදී පැවැති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ ස්ටෑන්ඩඩ් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා සහ එහි ලෝකඩ පදක්කම හිමිකරගත් ක්‍රීඩකයා වෙති.

කෙසේ වුවත් මෙම තීරණයට ඔවුන් එකඟ නොවන්නේ නම් දැනුම්දීම ලැබී සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අභියාචනා මණ්ඩලය වෙත අභියාචන ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

මෙම පාපැදි ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ චෝදනාව හමුවේ තරග තහනමක් පැනවීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ඔවුන්ට ලිඛිත දැනුම්දීමක් කර තිබෙන බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්  වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පැවසීය. මෙම තහනම 2019 වසරේ මැයි 24 වැනිදා සිට 2023 මැයි 23 වැනිදා දක්වා බලපැවැත්වෙන බවද වෛද්‍ය ජයවික්‍රම මහතා පැවසීය.

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරග මාලාව පසුගිය වසරේ මැයි 23-24 දෙදින අනුරාධපුරයේදී පැවැත්වුණි. එහිදී ස්ටෑන්ඩඩ් රේසින් කාණ්ඩ දෙකෙන්ම කාන්තා හා පිරිමි ඉසව් පැවැත්වුණි.

ස්ටෑන්ඩඩ් (පිරිමි) පාපැදි තරගය කිලෝ මීටර 100 කට ආසන්න දුරකින් සමන්විතව පැවැත්වුණි. ක්‍රීඩා උළෙලේ  ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් සමග මුදලින් ද ත්‍යාග ප්‍රදානය කෙරුණි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා චෝදනාලාභී ක්‍රීඩකයන් දෙදෙනාට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ඔවුන්ගෙන් ලබාගන්නා ලද මුත්‍රා නියැදි තුළ තහනම් උත්තේජක ද්‍රව්‍ය අඩංගු වී තිබීම සම්බන්ධයෙන් පසුගිය (2020) ජනවාරි 16 වැනිදා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ විනය කමිටුව විසින් සිදුකළ විමර්ශනයේ නිර්දේශ මත ඔවුන් වැරැදිකරුවන් බවට තීන්දු කර ඇති බවයි.

ඒ අනුව ලෝක උත්තේජක මර්දන නියෝජිතායතනයේ හා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ නීති රීති ප්‍රකාරව විනය කමිටුව අදාළ දඬුවම ඔවුන්ට නිර්දේශ කර ඇතැයි ද එමගින් අවධාරණය කර තිබේ.

2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 26 (1) (7) උපවගන්තියෙන් හිමිව තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව චෝදනාලාභී මෙම පාපැදි ක්‍රීඩකයන් දෙදෙනාට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික මහ ක්‍රීඩා උළෙලට තරග වැදුණු චෝදනාලාභී පාපැදි ක්‍රීඩකයෝ දෙදෙනාම යුද හමුදා පාපැදි ක්‍රීඩා සමාජය නියෝජනය කරති.


අදහස් (0)

පාපැදි ක්‍රීඩකයන් දෙදෙනකුට සිව් වසරක තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.