Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාදුක්ක නගරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

පාදුක්ක නගරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙසින් පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්ව විද්‍යාලය යටතේ පවතින භූමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමටද දෙපාර්ශ්වය ඉකුත්දා අත්සන් තබන ලදී.

අක්කර 36 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති එකී විශ්ව විද්‍යාල භූමියේ ඉදිකිරීමට නියමිත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට නියමිත අතර එහි මුල් අදියර ලෙස හිස්ව පවතින එම භූමි භාගය ක්‍රීඩාංගණයකට සරිලන ආකාරයට සකස් කිරීම සිදුකෙරෙනු ඇත. ඒ සඳහා වූ මූලික කටයුතු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කිරීමට නියමිත අතර අනතුරුව අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට එය පත් කිරීමේ කර්තව්‍යය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ පවතිනු ඇත.

අවබෝධතා ගිවිසුමට අනුව තණතීරු 6 කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යෑමේ පද්ධතිය, නවීන පහසුකම්වලින් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ඇත. වසර 18 ක කාලයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කොට තිබෙන අතර ක්‍රීඩාංගණයේ පාලනය දෙපාර්ශ්වයේම එකතුවෙන් සමන්විත කලමණාකාර කමිටුවක් මගින් සිදු කෙරෙනු ඇත.

එම ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියළුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලබන අතර මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

දෙපාර්ශ්වය අතර වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ, එම ආයතන මෙහෙයුම් අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන, එම ආයතන නීති අංශ ප්‍රධානී මිරාන් ප්‍රනාන්දු, එම ආයතන මූල්‍ය අංශ ප්‍රධානී මහේෂ් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, ජාතික ක්‍රිකට් සංවර්ධිත මධ්‍යස්ථාන ප්‍රධානී කමල් ධර්මසිරි සහ විධායක කමිටු සාමාජික සහ ජාතික ක්‍රිකට් ව්‍යාපෘති කමිටු ලේකම් සුජීව ගොඩලියැද්ද යන මහත්වරුද සහභාගි වූහ.

-036


අදහස් (2)

පාදුක්ක නගරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
  • Bandula Friday, 22 November 2019 09:25 AM

    මුදල් නාස්ති නොකරන්න. අඩක් නිමවූ හෝමාගම දියගම එයට ගත හැකි ස්ථානයයි. (දියගමග භූමිය අසල)

    Reply 0       0

    Bandula Friday, 22 November 2019 09:31 AM

    හෝමගම දියගමෙහි භූමිය අඩක් නිම කර ඇත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.