Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කමිටුවටත් එරෙහිව පැමිණිලි

නිලවරණ කමිටුවටත් එරෙහිව පැමිණිලි

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීමේදී මෙන්ම විරෝධතා විමර්ශනයේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විරෝධතාවක් ජාතික ක්‍රීඩා අභියාචනා කමිටුව වෙත යොමු කිරීමට එම සම්මේලනයේ හිටපු නිලධාරීන් සහ ක්‍රීඩා සමාජ කිහිපයක් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය අලුත්කර නොමැති ක්‍රීඩා සමාජ 23 කට සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති ක්‍රීඩා සමාජ 2 කට ඡන්ද අයිතිය ලබාදීම පැමිණිලි දෙකකි. නිසි පරිදි නාම යෝජනා ඉදිරිපත් කර නොමැති ක්‍රීඩා සමාජ 10 ක නාම යෝජනා භාරගැනීම, අනෙකුත් නාම යෝජනා පිළිබඳව ඉදිරිපත් කළ කිසිදු විරෝධතාවයක් විභාගයට නොගැනීම සහ නිලවරණ කමිටුව එක් පාර්ශවයක් වෙත පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධයෙන් තවත් විරෝධතා ජාතික ක්‍රීඩා අභියාචනා කමිටුව වෙත ඉදිරිපත් වී තිබේ.

සභාපති තනතුර සඳහා නාම යෝජනා බාරදී තිබූ ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ උප සභාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හිටපු සභාපති පරාක්‍රම බස්නායක මහතාගේ නාම යෝජනාවද, ප්‍රධාන ලේකම් තනතුර සඳහා නාම යෝජනා භාරදී තිබූ හිටපු ලේකම් දයා විදානගම මහතාගේ නාම යෝජනාවද කිසිදු විමර්ශනයකින් තොරව ප්‍රතික්ෂේප කර ඇතැයිද එම විරෝධතා ලිපියේ සඳහන් වේ.  

සිය පාලන සමයේදී කරන ලද මූල්‍ය වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලකින් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පත්කරන ලද කමිටුවකින් වරදකරුවන් ලෙස නම් කර දඬුවමකට පවා යටත්කොට ඇති හිටපු නිලධාරීන් දෙදෙනෙකුගේ නාම යෝජනා විමර්ශනයකින් තොරව උප සභාපති තනතුරක් සහ ප්‍රධාන ලේකම් තනතුරක් සඳහා භාරගෙන ඇති බවටද නිලවරණ කමිටුවට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා කැරම් සම්මේලන ව්‍යවස්ථාවේ සහ ක්‍රීඩා පනතේ රෙගුලාසි හා විධිවිධානයන් උල්ලංඝනය කරමින් නිලවරණ කමිටුව විසින් කරනු ලබන මෙම පක්ෂග්‍රාහී ක්‍රියාවන් පිළිබඳව මින් පෙර ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා සහ නිලවරණ කමිටුව වෙත ක්‍රීඩා සමාජ කීපයක්ම ලිපි මගින් දන්වා යවා තිබේ. එම ලිපි යවා මාසයකට අධික කාලයක් ගතවී ඇතත් එම කිසිදු ක්‍රීඩා සමාජයක් වෙත මේ දක්වා කිසිවෙකුගෙන් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බවද විරෝධතාකරුවෝ සඳහන් කරති.

කෙසේ වෙතත් මෙම සියලු විරෝධතා පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා, දිවයිනේ ප්‍රදේශ කීපයක සංචරණ සීමා පනවා තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති කොවිඩ්-19 නීති රීතිද නොතකමින් මෙම මස 25 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී කැරම් නිලවරණය පැවැත්වීට නිලවරණ කමිටුව කටයුතු යොදා ඇතැයිද කැරම් සම්මේලනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

නිලවරණ කමිටුවටත් එරෙහිව පැමිණිලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.