Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්හාන් ජයවර්ධන ඉල්ලා අස්වෙයි

දිල්හාන් ජයවර්ධන ඉල්ලා අස්වෙයි

ශානුක අරවින්ද - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය තුළ පවතින අර්බුද සහගත තත්වයක් හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ දිල්හාන් ජයවර්ධන මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව ලබන අගෝස්තු මස එහි මහ සභා රැස්වීම පැවැත්වෙන තෙක් උප සභාපතිවරයකු වන කාලිංග සමරවීර මහතා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

නිල කාලය අවසන් වීමට පෙර සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවැසූවේ තවදුරටත් තමාට හිතට එකගව සංගමය තුළ කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

“එතන (සංගමයේ නිලධාරී මණ්ඩලය තුළ) ඉන්න අයට වෙන වෙන පුද්ගලික අරමුණු තියෙන්නෙ. ඉතින් එකතු වෙලා වැඩක් කරන්න හරිම අමාරුයි. සංගමයක් විදියට ක්‍රීඩාවට දෙයක් කරන්න කොච්චර උත්සාහ කළත් පස්සට අදින අය වැඩියි.” යැයි ජයවර්ධන මහතා පැවැසීය.

“මව් සංගමයට අනුබද්ධ අනු සංගම් 9 න් 7 ක්ම මට ඇවිත් කිව්වා ඇවිත් මේක හදලා දෙන්න කියලා. ඒකයි මම මේ තනතුර බාරගත්තෙ. මට ලොකු උවමනාවක් තිබුණා මෝටර් රථ ක්‍රීඩාව වෙනුවෙන් දෙයක් කරන්න. ඒත් එතන ඉන්න අයත් එක්ක ඒක කරන්න බැහැ කියලා තේරුණ නිසයි මම එතනින් අයින් වෙන්න තීරණය කළේ.” යැයි ජයවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

හිටපු යුද හමුදා මේජර්වරයකු වන ජයවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ පැරණිතම සුපර්ක්‍රොස් තරගාවලියක් වන නරියාකන්ද සුපර්ක්‍රෝස් තරගාවලිය ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකි. පසුකලෙක ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ (ස්ලඩා) සභාපතිවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා 2017 වසරේදී නිතරගයෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ සභාපතිවරයා ලෙස පත්විය.

“අපි ක්‍රීඩකයන්ගේ විනය හදන්න ඕන නිසා වැරදි කරන අයට විරුද්ධව පරීක්ෂණ පවත්වලා දඩුවම් දෙනවා. ඒත් ටික දවසක් යනකොට එයාලා ක්‍රීඩා අමාත්‍යංශයට ගිහින් හිතවත්කම් ප්‍රයෝජනයට අරන් නිවැරදිකාරයෝ වෙනවා. එහෙම වුණාම අපි කරන දෙවල් තේරුමක් නැති වෙනවා.” යැයිද ජයවර්ධන මහතා කියා සිටියේය.

“අනු සංගම් වුණත් පුරුදුවෙන්න ඕන මව් සංගමයේ තීරණ වලට අවනත වෙන්න. එහෙම නැතුව එයාලා අපේ තීරණ වලට විරුද්ධව අධිකරණයට ගියාම වෙන්නෙ නිකරුනේ දෙගොල්ලන්ගෙම කාලය නාස්ති වෙන එක විතරයි. එහෙම නාස්ති කරන්න කාලයක් මට නැහැ.” යැයි හෙතෙම සඳහන් කළේය.

හිටපු යුද හමුදා නිලධාරියකු වශයෙන් තමා ඍජු තීරණ ගන්නා පුද්ගයකු බවත්, එකිනෙකාට අවශ්‍ය අයුරින් තමාව හැසිරවීමට නොහැකි බවත් පැවසූ ජයවර්ධන මහතා අවසන් වශයෙන් කියා සිටියේ නැවතත් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවය.
 


අදහස් (0)

දිල්හාන් ජයවර්ධන ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.