Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 14 - 25 බංග්ලාදේශයේදී

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 14 - 25 බංග්ලාදේශයේදී

නාමල් පතිරගේ - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

වසර 2020 ට මගහැරුණු 13 වැනි සාෆ් (දකුණු ආසියානු ශූරතා) පාපන්දු තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංගලාදේශයේ  ඩකා නුවරදී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ. ඒ නොබෝදා ‘සූම්’ - වීඩියෝ) තාක්ෂණය ඔස්සේ පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේදී ගත් තීරණයට අනුවය.

ඩකා නුවර ‘බන්ගබන්දු’ ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණේ 2020 සැප්තැම්බර් 7 සිට 19 වැනිදා දක්වාය. එහෙත් කොරෝනා වයිරසය පැතිරීයාම හේතුවෙන් එය පැවැත්විය නොහැකි විය.  අවසන් වරට 2018 දී පැවැති මෙම තරගාවලියේ සත්කාරය  දරා ඇත්තේ ද බංගලාදේශයයි.

සාක් රන් කුසලාන තරගාවලිය නමින් 1993 දී, දකුණු ආසියානු කලාපයේ රටවල් පහක සහභාගිත්වයෙන් ඇරඹි මෙම තරගාවලියට වසර 2011 දී ඇෆ්ඝනිස්ථානයද එක් විය.
ඇෆ්ඝනිස්ථානය දකුණු ආසියානු ශූරතාවලියේ වසර 2013 කත්මන්ඩු නුවරදී පැවැති තරගාවලිය ජය ගැනීමටද සමත් විය. නමුත් වසර 2015 තරගාවලියෙන් පසුව ඇෆ්ඝනිස්ථානය තරගාවලියෙන් ඉවත් විය. ඔවුන් මේ වන විට බටහිර ආසියානු කලාපයට ඇතුළත් වෙමින් එහි තරගාවලි සඳහා සහභාගි වෙයි.

13 වැනි අදියර තරගාවලියට දින නියම වීම ගැන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරයකු වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ, පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඒ සඳහා දින යොදා ගැනීමක් පමණක් සිදුවූ බවත්, තරගාවලියේ කාලසටහන සඳහා වන කුසපත් ඇදීම ඉදිරි දිනකදී සිදුවන බවයි.

“මෙම විශේෂ මහ සභා රැස්වීම විශේෂයෙන්ම කැඳවන්න තීරණය කළේ සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නයි. දකුණු ආසියානු පාපන්දු සමුළුවේ ව්‍යවස්ථාවේ රෙගුලාසි කීපයක් වෙනස් කර ගන්නා ලෙස ආසියානු සමුළුව ලබාදුන් උපදෙස් අනුව එම කටයුත්ත සිදුවුණා. “

විශේෂයෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මින් ඉදිරියට එම රෙගුලාසි සංශෝධනයට අනුව අපට ආසියානු පාපන්දු සමුළුවට අනුගතව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මින් ඉදිරියට දකුණු ආසියානු පාපන්දු සම්මේලනයට අලුතින් කිසියම් රටක් බඳවා ගන්නවා නම් මෙම සංශෝධනයට අනුව අපට ආසියානු සමුළුවෙන් අනුමැතිය ගන්න සිදුවෙනවා’’ යයි ද අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

බංග්ලාදේශයේදී පැවැත්වෙන මීළඟ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය පළමු ඉලක්කය ලෙස ශ්‍රී ලංකාවේ සේවයට කැඳවා සිටින බොස්නියානු පුහුණුකරු අමීර් ඇලජික් මහතා වෙත ලබාදීමට මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි.  ජාත්‍යන්තර පාපන්දු පිටියේදී වසර ගණනාවක් පුරා පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වාවත් කැඳවාගෙන ඒමට ඇලජික් මහතා සමත් විය යුතුය යන ඉලක්කය ඔහුට දීමට නියමිතය.

2018දී තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදීම පරාජයට පත්විය. එහිදී ශූරතාව දිනා ගත්තේ මෙම තරගාවලිය වැඩිම වාර ගණනක් ජයගත් ඉන්දියාව විසිනි. 1995 කොළඹ පැවැති තරගාවලිය (සාක් රන් කුසලාන) ජයගැනීම හැරෙන්නට එයින් පසුව මේ දක්වා තරගාවලියේදී උසස් දක්ෂතාවයන් පළ කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි.

1995 දීත් ශ්‍රී ලංකාවේ සේවය කළේ විදේශීය පුහුණුකරුවෙකි. ඔහු බ්‍රසීල ජාතික ජෝර්ජ් ෆෙරෙයිරා මහතාය. මේ වන විට ශ්‍රී ලංකාවේ සේවය කරන අමීර් ඇලජික් මහතා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි.

දකුණු ආසියානු ශූරතා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 50,000ක් ප්‍රදානය කෙරේ. එය ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 94 කට වැඩි අගයක් ගනියි.

1995 ශූරතාව දිනා ගැනීම හැරෙන්නට 1993 ආරම්භක (ලීග්) තරගාවලියේදී ශ්‍රී  ලංකාව අනු ශූරතාව හිමි කරගෙන තිබේ. එම තරගාවලියට සහභාගි වී ඇත්තේ කලාපයේ රටවල් හතරක් පමණි.

 


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 14 - 25 බංග්ලාදේශයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.