Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙනිස් පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර

ටෙනිස් පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර

ශානුක අරවින්ද - 2020 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතයෙන් පසුව ටෙනිස් ක්‍රීඩාව යළිත් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස වරකට ක්‍රීඩක  ක්‍රීඩිකාවන් සිවු දෙනා බැගින් සහභාගි කරවාගෙන පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා පුහුණුකරුවන්ට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ලේකම් ප්‍රදීප් ගුණසේකර මහතා පවසයි.

තවමත් ජාතික සංචිතයේ පුහුණුවීම් නිල වශයෙන් ආරම්භ කර නොමැති වුවත්, ඊට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් ආරම්භ කිරීමට උපදස් ලබාදුන් බවද මෙරට ටෙනිස් ක්‍රීඩාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී හෙතම වැඩි දුරටත් කියා සිටියේය.

“මේ දිනවල අපි ජාතික සංචිතය කැඳවීම සහ ඔවුන්ගේ පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වමින් සිටිනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය ලැබුණ සැණින් අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් වලට අනුව ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කරනවා.” යැයි ගුණසේකර මහතා පැවසීය.

තරගාවලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුණසේකර මහතා කියා සිටියේ කොවිඞ්-19 වයිරසය පැතිරයෑම හේතුවෙන් අතරමැද නවතා දැමුණ මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලිය, අගෝස්තු මාසය තුළදී සම්පූර්ණ කිරීමට තම සංගමය බලාපොරොත්තු වන බවය.

“අලුතින් තරගාවලියක් පවත්වනවාට වඩා අපි මුල් තැන දෙන්නෙ අතරමැද නතර කරන්න වුණ මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලිය පවත්වලා නිමා කරන්නයි. බොහෝ දුරට අගෝස්තු මාසය තුළදී අපිට එම තරගාවලිය සම්පූර්ණ කරන්න පුළුවන් වේවි.” යැයි ගුණසේකර මහතා සඳහන් කළේය. මැටි පිටි තරගාවලියේ ඉතිරි කොටස ආරම්භ කිරීමට මත්තෙන්, ආරක්ෂක විදි විධාන යටතේ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගනිමින් තරගාවලි සංවිධනය කිරීමේදී ඇතිවන ගැටළු හඳුනා ගැනීමටද ටෙනිස් සංගමය සූදානමින් සිටියි.

“ජූලි මාසය අග භාගයේදී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවාගෙන පෙරහුරු තරගාවලියක් පවත්වන්න අපි මේ දිනවල සැලසුම් කරමින් සිටිනවා. එය ජය පැරදුම වෙනුවෙන් පවත්වන තරගාවලියක් නෙමෙයි.”

“ඒ මගින් අපි බලාපොරොත්තු වෙන්නෙ නවතම තත්ත්වයන් යටතේ තරගාවලි සංවිධානය කිරීමේදී ඇතිවන ගැටළු හඳුනාගන්නයි. එතකොට අපිට පුළුවන් ඒ ගැටළු වලට පිළියම් යොදමින් මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ ඉතිරි කොටස ආරම්භ කරන්න.” යැයිද ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය තෙවැනි වරටත් සංවිධානය කරන මැටි සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික ටෙනිස් තරගාවලිය මාර්තු මස 13 වැනිදා සිට 26 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් නතර කරන විට පවත්වා තිබුණේ තරගාවලියේ මූලික තරග පමණි.

ඉසව් 27 කින් සමන්විත වන එම තරගාවලිය කනිෂ්ඨ, විවෘත, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු ලෙස කාණ්ඩ 4 කින් සමන්විත වන අතර ‘හච්’ සන්නිවේදන සමාගම සහ හැටන් නැෂනල් බැංකුව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.


අදහස් (0)

ටෙනිස් පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.