Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 12 දා සිට

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 12 දා සිට

editorial - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 30 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මේ මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාත්‍යන්තර ස්කොෂ් දිනය යෙදී තිබෙන ඔක්තෝම්බර් 12 වැනිදා ශූරතාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පෙරවරු 8.00 ට තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය.

අඛණ්ඩව 12 වැනි වරටත් රිට්ස්බරි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් එක් වීමට නියමිත අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඊට සහභාගි වනු ඇත.

එහිදී බාලක සහ බාලිකා වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. ඊට අමතරව නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අපේක්ෂාවෙන් වයස අවුරුදු 11 න් පහළ, 15 න් පහළ හා 19 න් පහළ ආධුනික කාණ්ඩය යටතේද තරග පැවැත්වේ.

වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ අවසාන් මහා තරගය මේ මස 16 වැනිදා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර සම්මාන ප්‍රදානෝත්සවයද එම ස්ථානයේදීම පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ස්කොෂ් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියට (www.srilankasquash.com) පිවිසීමෙන් තරගාවලියේ තරග කාල සටහන ඇතුළු විස්තර ලබා ගත හැකිය.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මෙසේ මහතා පැවසීය. “මලල ක්‍රීඩා, පිහිනුම් සහ රග්බි වැනි ක්‍රීඩා ගණනාවකට ම අපි සහාය දක්වනවා. විශේෂයෙන්ම ස්කොෂ් ක්‍රීඩාව සමඟ ගෙවුණු දශකයකට වැඩි කාලයේ දී, විශාල ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කලාපීය වශයෙන් දක්ෂතා දැක්වීම ඊට හොඳම නිදසුනක්. ඉදිරියේදී අපේ රටේ බොහෝ දිස්ත්‍රික්ක පුරා ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුළින් ඉහළ ක්‍රීඩක සහභාගිත්වයක් ලබා ගැනීමත් අපගේ අරමුණක්. මේ වසරේදී 30 වැනි වරට පැවැත්වෙන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා අපේ පූර්ණ දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ උද්යෝගිමත් සහභාගිත්වයක් අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාමික එයාර් කොමදොරු අජිත් අබේසේකර මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසිය. “අඛණ්ඩව 12 වැනි වරටත් ජාතික ස්කොෂ් කනිෂ්ඨ ශූරතාවලිය සඳහා දේශීය සමාගමක් ලෙස රිට්ස්බරි ලබා දෙන දායකත්වය අපි මහත් සේ අගය කරනවා. ඒ වගේම කොළඹින් බැහැර ප්‍රධාන නගර කරාත් ස්කොෂ් ජනප්‍රිය කරවීමට රිට්ස්බරි සමාගම ගන්නා උත්සාහය, ප්‍රශංසාත්මකයි. පසුගිය වසර ගණනාව පුරාවටම ස්කොෂ් ක්‍රීඩාවට රට තුළ තිබෙන පිළිගැනීම වැඩි දියුණු කිරීමට ඔවුන් විශාල දායකත්වයක් සපයා තිබෙනවා.”

 

සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ විධායක කමිටු සාමාජික ධම්මික විජේසුන්දර මහතා වෙත අනුග්‍රාහක චෙක්පත පිරිනමනු ලැබූ අවස්ථාව. මෙම අවස්ථාවට සිලෝන් බිස්කට් සමාගමේ සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

-036

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.