Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 7

ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 7

නාමල් පතිරගේ - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

♦ ඡායාරූපය– ගුවන් හමුදා පාපැදි සවාරියට ප්‍රධාන අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය වෙනුවෙන් එහි  ව්‍යාපෘති කළමනාකරු නලින් ද ගමගේ මහතා විසින් ගුවන් හමුද‌ාපති සුදර්ශන පතිරණ මහතාට නිල වශයෙන් අනුග්‍රහය ප්‍රදානය කළ අයුරු.
ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් සමාගමේ මෙහෙයුම් කළමනාකරු ෂවේන්ද පැට්ට්‍රික් යන මහත්වරුද මෙහි වෙති.

මේ වසරේ ගුවන් හමුදා පාපැදි සවාරිය දිනයකට පමණක් සීමා කර තිබේ. තරගාවලිය මාර්තු 7 වැනිදා කොළඹ සිට කුලියාපිටිය දක්වා ගොස් නැවත කටුනායක දක්වා පැමිණීමෙන් අවසන් වේ.  තරගයේ සම්පූර්ණ දුර කිලෝමීටර 180 කි.

නිරෝධායන නීති රීති හමුවේ තරගකරුවන් ගණනද උපරිම 180 කට සීමාකර තිබේ.

 22 වැනි වරටත් සංවිධානය කෙරෙන, මෙරට වාර්ෂික ප්‍රධානතම පාපැදි තරගාවලියක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය කාන්තා හා පිරිමි ඉසව් තුනකින් සමන්විතය. ශ්‍රී ලංකා ගුවන් හමුද‌ාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙවර සංවිධානය වන ගුවන් හමුද‌ා පාපැදි සවාරිය එක් දිනකට සීමා වුවත් මෙතෙක් එය දින තුනක් දක්වා අදියර කීපයකින් පැවති පාපැදි තරගයක් විය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති එකම දේශීය පාපැදි තරගයත් එයම විය. 2020 වසරේ මාර්තු මාසයේදී එය පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයෝ සමත් වූහ.

කිලෝමීටර් 450 කින් සමන්විතව දින තුනක් පුරා පැවති පසුගිය වසරේ (පිරිමි) තරගයේ ජය යුද හමුද‌ා ක්‍රීඩක තුෂාන් රාජපක්ෂට හිමි විය. එවර කිලෝමීටර 110 කින් යුත් එහි කාන්තා තරගයේ ජය හිමිවූයේ යුද හමුද‌ා ක්‍රීඩිකා උදේෂිනි කුමාරසිංහටය.

ගුවන් හමුද‌ා පාපැදි ක්‍රීඩා සමාජයේ ලේකම් ගුවන් කොමදෝරු කිත්සිරි ලීලාරත්න මහතා පැවසුවේ දැඩි සෞඛ්‍ය නීතිරීති  යටතේ පැවැත්වීමට සිදුව තිබෙන මෙවර පාපැදි සවාරිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අනුපිළිවෙළට අනුව පිරිමි ඉසව්ව සඳහා තරගකරුවන් 180 දෙනෙකු නිර්දේශ කර ගන්නා බවයි.

මෙවර පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා සඳහා රුපියල් ලක්ෂ තුනක් හා කාන්තා තරගයේ ශූරියට රුපියල් ලක්ෂයක් ප්‍රද‌ානය කිරීමට සැළසුම් කර තිබේ. පසුගිය වසරේ ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ප්‍රද‌ානය විය.

කිත්සිරි ලීලාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ මෙරට පාපැදි ක්‍රීඩා පරිපාලනය නිල වශයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක මෙවර තරගය සූද‌ානම් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගත් බවයි.

තරග අයදුම්පත් මෙම 26 වැනිදා දක්වා slafcycling@slaf.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ බාර ගැනේ. කොළඹ කොම්පඤ්ඤවීදිය පිහිටි ගුවන් හමුද‌ා මූලස්ථානයටද අයදුම්පත් අතින් ගෙනවිත් බාරදිය හැකිය.

ජයසංකේත ප්‍රද‌ානෝත්සවය මාර්තු 7 වැනිද‌ා පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී ගුවන් හමුද‌ාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරේ.


22 වැනි ගුවන් හමුද‌ා පාපැදි සවාරියේ ගමන් මාර්ග

♦ පිරිමි ඉසව්ව (කිලෝමීටර් 180)
වත්තල – ජා ඇල – මිනුවන්ගොඩ – දිවුලපිටිය – ගිරිඋල්ල – නාරම්මල – කුලියාපිටිය – මාදම්පේ - වෙන්නප්පුව – කොච්චිකඩේ - මීගමුව – කටුනායක 20 කණුව දක්වා
(කොළඹ සිට වත්තල දක්වා ප්‍රදර්ශන ධාවනයකි)

♦ කාන්තා ඉසව්ව (කිලෝමීටර 70)
ඒකල – මිනුවන්ගොඩ – දිවුලපිටිය – ගිරිඋල්ල – පන්නල – දංකොටුව – කොච්චිකඩේ - මීගමුව – කටුනායක 20 කණුව දක්වා.

 

 


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 7

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.