Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා විමර්ශන ඒකකයෙන් පැමිණිලි 4 ක් ගැන සෝදිසි

ක්‍රීඩා විමර්ශන ඒකකයෙන් පැමිණිලි 4 ක් ගැන සෝදිසි

නාමල් පතිරගේ - 2020 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැමිණිලි හතරක් සම්බන්ධයෙන් ක්‍රීඩා විමර්ශන විශේෂ පොලිස් ඒකකය මේ වනවිට විමර්ශන පවත්වා ගෙන යන බව එහි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි. කෙසේවුවත් ලැබුණු පැමිණිලි ගණනාවක් අසත්‍ය පදනම් විරහිතව ගොතන ලද ඒවා බව හෙළිකර ගැනීමෙන් පසුව ඒවා ඉවත දැමූ බවත් ෆොන්සේකා මහතා පැවසුවේ ක්‍රීඩා විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ වත්මන් විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදීය.  

රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන විෂමාචාර ක්‍රියා හා තරග පාවාදීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි නීත්‍යානුකූලව විභාග කර වැරදිකරුවන් හෙළිදරව් කිරීම සඳහා මෙම නව පොලිස් විමර්ශන ඒකකය ස්ථාපිත කළේ පසුගිය පෙබරවාරි 11 වැනිදාය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා තරග පරිශ්‍රයේ නව ඒකක විමර්ශන කාර්යාලය ස්ථාපිත කර තිබේ.

කොරෝනා ව්‍යවසන තත්ත්වය හමුවේ වුවද සිය ඒකකය අඛණ්ඩව රාජකාරී කටයුතු පවත්වා ගෙන ගිය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ පාපැදි  ව්‍යාපෘති නිලධාරී ගාමිණි කොස්තා මහතා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එරෙහිව ගොනුකළ පැමිණිල්ලක් තවදුරටත් විභාග වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කොස්තා මහතාගේ පැමිණිල්ලෙන් ගොනුකර ඇත්තේ නේපාලයේදී පැවැති 13 වැනි සාෆ් ක්‍රීඩා උළෙලේ පාපැදි ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග පාවාදීමේ සැකයට තුඩු දෙන ලෙස හැසිරුණු බවයි.

එහි ගිය පාපැදි සම්මේලනයේ නිලධාරීන් කීප දෙනකු ද මේ සිදුවීමට සම්බන්ධ බවට කොස්තා මහතා සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇතැයි ද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ධම්මික මුතුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් කීප දෙනකුගෙන්ද මේ වනවිට සාක්ෂි ලබා ගැනීමට ඒකකය කටයුතු කර තිබේ.

මේ අතර ඔට්ටු ලබාගැනීමේ ආයතනයකට එරෙහිව ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් පුද්ගලයකු ගොනු කළ පැමිණිල්ලෙන්ද විමර්ශනයෙන් පසුව ඉදිරි පියවර ගැනීම සඳහා විමර්ශන ඒකකය රජයේ නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.  2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශන කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි දැයි තහවුරු කර ගැනීම එහි අරමුණ වේ.

එකි චෝදනාලාභි ඔට්ටු ලබා ගැනීමේ ආයතනය ක්‍රිකට් තරග සඳහා ඔට්ටු ලබා ගැනීමේදී ඇතැම් තරග පාවා දීමේ සැකයට තුඩුදෙන බව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා විමර්ශන පොලිස් ඒකකයට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කිරීම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට විදෙස් තරග සමාජ අවස්ථා අහිමි කිරීම එහි සිය ඒකකයේ විෂයට ඇතුළත් නොවන පැමිණිලි ගණනාවක් ඉවත  දැමීමට සිදුවූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසීය.

මෙම ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස පොලිස් අධිකාරී ඩී. ජේ. සමරනායක මහතා කටයුතු කරයි. ඉදිරියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විෂමාචාර ක්‍රීඩාවන් සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන සමුළුවක් සිය ඒකකයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පවසයි.

 


අදහස් (0)

ක්‍රීඩා විමර්ශන ඒකකයෙන් පැමිණිලි 4 ක් ගැන සෝදිසි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.