Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුව සාමයට කැමතියි

ඔලිම්පික් කමිටුව සාමයට කැමතියි

නාමල් පතිරගේ - 2019 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා ඇමැතිවරයා සමග සිය කමිටුවට කිසිදු ගැටලුවක් නැති බවත් එහෙත් දෙපාර්ශ්වය අතර පවතින විරසකයන් විසඳා ගැනීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියත් ඊට ඔවුන්ගෙන් කිසිදු  ප්‍රතිචාරයක් පළ නොවූ බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පවසයි. 

ඔහු පැවසුවේ එළඹෙන සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකරණ කටයුතු මෙහෙයුම්වලට එම තත්ත්වය කිසිසේත් බාධාවක් නොවන බවයි. රටේ ක්‍රීඩාව පවත්වාගෙන යාම ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුත්තක් මිසක එය ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමක් නොවන බවත් එහි දී ඔහු අවධාරණය කරයි. 

මැක්ස්වල් ද සිල්වා මහතා ලංකාදීපයට මෙසේද පැවසීය. 

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා කරුණු අනවබෝධයෙන් කතා කිරීම ගැන අපට කනගාටුයි. නමුත් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශය සමග මිත්‍රශීලිත්වයෙන් තවදුරටත් කටයුතු කරනවා. 

අප දෙපාර්ශ්වයට මෙහෙම හැසිරෙන්න බෑ. රටේ නීතියට අපේ කමිටුව යටත් නෑ කියන තැන අපි ඉන්නෙ නෑ. අපි කියන්නෙ අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තියට අනුව කමිටුවට කටයුතු කරන්න සිද්ධවෙනවා කියන කාරණාව පමණයි. ඒ ප්‍රඥප්තියට යටත්ව රටේ නීතියට ගරු කරන්න අප සූදානම්. 

ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ කරුණු නොදැන ඇතැමුන් ඔලිම්පික් කමිටුවට චෝදනා කළත් මේ වනවිටත් ළඟ එන සාග් ක්‍රීඩා උළෙල හා ඔලිම්පික් උළෙල වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම කමිටුව ක්‍රියාවට නංවා ඇති බවයි. 

ටෝකියෝ (2020) ඔලිම්පික් උළෙල වෙනුවෙන් මේ වනවිට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකුට විදේශීය පුහුණුවීම් හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කමිටුව කටයුතු කර ඇති බවත් ඔහු පවසයි. 

‘වැඩිය කතා කරන්න එපා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන බර ඉසිලීමේ පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතාට වගේම එහි අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතාටත් එතෙර දී හැදෑරීම් කරන්නටත් ජාතික ඔලිම්පික් කමිටුව ලබාදුන් ශිෂ්‍යත්ව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා’ යැයිද ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 

දක්ෂතා හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ඔලිම්පික් කමිටුවට උපකාරීවීම සඳහා ඔලිම්පික් පදක්කම් ලාභිනී, සුසන්තිතා ජයසිංහ මහත්මිය ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් දස්කම් අධ්‍යක්ෂිකාව ලෙස පත්කරන ලදි.  එළඹෙන සාග් ක්‍රීඩා උළෙලේ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි තනතුරට යෝජනාවී සිටින්නන් අතර ඇයත් සිටින බව වාර්තා වේ. 

ඔලිම්පික් රිදී පදක්කම්ලාභීනී, සුසන්තිකා ජයසිංහ මහත්මිය සිය පත්වීම් ලිපිය එම කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා අතින් ලබා ගත් අයුරු. එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ද ඡායාරූපයේ  වෙයි.

 


අදහස් (0)

ඔලිම්පික් කමිටුව සාමයට කැමතියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.