Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ සම්මේලනය වසර තුනක් අක්‍රිය තත්ත්වයෙන්

එල්ලේ සම්මේලනය වසර තුනක් අක්‍රිය තත්ත්වයෙන්

නාමල් පතිරගේ - 2020 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ජාඇලදී ඊයේ (18) ආරම්භවීමට නියමිතව තිබූ අගමැති කුසලාන ජාතික එල්ලේ ශූරතා තරගාවලිය අත්හිටුවීමට සිදුවීමත් සමග මෙම වසරට සූදානම් කර තිබූ සියලුම තරගාවලි හා ප්‍රවර්ධන වැඩසටහන් අත්හැර දැමීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට සිදුව තිබේ. එහි විශේෂත්වය නම් එල්ලේ සම්මේලනයේ ක්‍රියාකාරිත්වය මේ දක්වා වසර තුනක තරම් වන කාලයක් තිස්සේ අඩපණව පැවතීමයි.

එල්ලේ සම්මේලනයේ ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ, රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය හමුවේ ඊයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අගමැති කුසලාන ජාතික එල්ලේ ශූරතා තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට එල්ලේ සම්මේලනය තීරණය කළ බවයි.

මෙම වසරේදී සූදානම් කර තිබූ ජාතික එල්ලේ තරගාවලියේ විශේෂත්වයක් ගත්තේ පළමු වතාවට එහි ජයග්‍රාහී කණ්ඩායම සඳහා අගමැති කුසලාන ප්‍රදානය කිරීමයි.

කෙසේ වුවත් වසර තුනක් තිස්සේ එල්ලේ සම්මේලනයේ තරගාවලි හා වැඩසටහන් අක්‍රියවීම තුළ වසර 2018 ට නියමිතව තිබූ ජාතික එල්ලේ ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය මෙම වසරේදී පවත්වා අවසන් කිරීමට ගත් අවස්ථා කීපයක්ම අසාර්ථක වූයේ රට තුළ මාර්තු මාසයේ පටන් උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වයයි.

අවසන් වරට දින යොදා ගැනීමේදී 2018 ජාතික ශූරතා අවසන් මහ තරගය පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සුගතදාස පිටියේදී පැවැත්වීමට යොදා ගෙන තිබුණි. ජොසිටාවත්ත ‘රෂ්මි’ කණ්ඩායම හා උදම්මිට ‘ගාමිණී’ කණ්ඩායම අතර එම අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබුණි.

එල්ලේ සම්මේලනයේ වසර 2018 - 20 පාලන කාලසීමාවේදී ක්‍රියාත්මක වූ විධායක සභාවට ක්‍රීඩා සමාජ වෙතින් එල්ල වූ චෝදනාව වන්නේ එකී කාලය තුළදී කිසිදු තරගාවලියක් හෝ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි. එම අවස්ථාවේදී එල්ලේ සම්මේලනයේ සභාපති ධුරයේ කටයුතු කළේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සහන් ප්‍රදීප් මහතායි.

අරමුදල් සොයාගැනීමේ දුෂ්කරතා මැද පසුගිය පාලන සමයේ (2018-20) එල්ලේ සම්මේලනයේ ව්‍යාපෘති අත්හැර දැමීමට සිදුවූ බව එවකට එහි ලේකම් ධුරය දැරූ සිරිල් පෙරේරා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවත් ලංකාදීපය කළ විමසුමකට තවදුරටත් පිළිතුරු දුන් එල්ලේ සම්මේලනයේ ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා, එල්ලේ ක්‍රීඩාව මෙරට වඩාත්ම ව්‍යාප්තව පවතින කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල කොරෝනා වසංගත තත්ත්වය වඩාත්ම බැරෑරුම් ස්වභාවයක් මේ වන විට ගෙන තිබෙන බැවින්, එල්ලේ සම්මේලනය වඩාත්ම දුෂ්කර කාලයක් ගෙවා දමමින් සිටින බවයි.

කඩවතදී පසුගිය අගෝස්තු 29 වැනිදා පැවැති එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට ව්‍යාපාරිකයකු වන ජයතිස්ස රුද්‍රිගු මහතා පත්විය. ඒ සඳහා මෙවර හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ඉදිරිපත් නොවීය.

එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 184ක් වුවත් එම නිලවරණයට සහභාගි වූයේ ක්‍රීඩා සමාජ 89ක් පමණි.

ප්‍රියන්ත මද්දුමගේ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරට නියමිත එල්ලේ සංවර්ධන වැඩසටහන් අත්හැර දැමීමට සිදුවුවත්, ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.

එළඹෙන ජාතික තරගාවලියට ක්‍රීඩා සමාජ පමණක් නොව අන්තර් ආයතන කණ්ඩායම් ද පළමු වතාවට ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රීඩා සමාජවල අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා ජයතිස්ස කොස්තා මහතාගේ සභාපතිත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත් කිරීමට ද එල්ලේ සම්මේලනය පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

එල්ලේ සම්මේලනය වසර තුනක් අක්‍රිය තත්ත්වයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.