Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

නාමල් පතිරගේ - 2020 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2018 ට නියමිතව තිබූ ජාතික එල්ලේ ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය වසර දෙකකට පසුව පැවැත්වීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සූදානම් වෙයි.  ඒ අනුව උදම්මිට ‘ගාමිණි’ ක්‍රීඩා සමාජය හා ජොසිටාවත්ත ‘රශ්මි’ ක්‍රීඩා සමාජය අතර අවසන් මහ තරගය අගෝස්තු 16 වැනිදා කැලණිය සීවලී පිටියේදී පැවැත්වීමට පසුගියදා රැස්වූ එල්ලේ සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයද එදිනම කැළණිය සීවලී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තොටළඟ ‘අරුණ’ ක්‍රීඩා සමාජය හා නාගොඩ ‘ශ්‍රීමාලි’ ක්‍රීඩා සමාජය අතර එම තරගය පැවැත්වීමට නියමිතය.

වසර 2018 ජාතික එල්ලේ ශූරතා තරගාවලිය සඳහා කණ්ඩායම් 172 ක් සහභාගී වී තිබේ. එම වසරේ ඔක්තෝබර් මාසයේ සිට එම තරගාවලිය පවත්වාගෙන ගොස් තිබෙන අතර අවසන් පූර්ව වටයේදී උදම්මිට ‘ගාමිණී’ ක්‍රීඩකයෝ තොටළඟ අරුණ කණ්ඩායම පරාජයට පත් කළහ. වසර 2017 තරගාවලියේද ශූරතාව දිනාගත් ජොසිටාවත්ත ‘රශ්මි’ කණ්ඩායම මෙවරත් එය රැක ගැනීමේ අපේක්‍ෂා ඇතිකර ගනිමින් 2018 අවසන් මහ තරගයට ප්‍රවේශ වූයේ අවසන් පූර්ව වටයේදී නාගොඩ ශ්‍රීමාලි කණ්ඩායම පරාජයට පත් කරමිනි.

වසර 2018 ජාතික එල්ලේ අවසන් මහ තරගය පැවැත්වීමට ප්‍රමාදය ගැන එල්ලේ සම්මේලනයේ ලේකම් සිරිල් පෙරේරා මහතා  පැවසුවේ වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා එම ප්‍රමාදය ඇතිවූ බවයි. කෙසේ වුවත් සම්මේලනයේ වත්මන් සභාපති සහන් ප්‍රදීප් මහතාගේ උපදෙස් පරිදි විධායක සභාව ගත් තීරණයකට අනුව එල්ලේ සම්මේලනයේ නිලවරණයට පෙර එය පවත්වා අවසන් කිරීමට පසුගියදා පැවැති රැස්වීමේදී තීරණය කළ බවත් ඔහු එහි වැඩිදුරටත් පැවසීය.

එල්ලේ සම්මේලනයේ නිලවරණය ලබන අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට එම සම්මේලනය මේ වනවිට තීරණයක් ගෙන තිබේ. එහිදී සභාපති ධුරයට ඉදිරිපත්වන බව වත්මන් සභාපති සහන් ප්‍රදීප් මහතා මෙන්ම හිටපු ඇමැතිවරයෙකු වන අර්ජුන රණතුංග මහතාද ප්‍රකාශ කර තිබේ.

වසර දෙකකට ඉහතදී පත්වූ එල්ලේ සම්මේලනයේ වත්මන් පාලනයට වියදම් සොයා ගැනීමට නොහැකි වීමෙන් පසුගිය වසර දෙකේදී තරගාවලි ඇතුළු එල්ලේ සංවර්ධන වැඩසටහන් රැසක් අත්හිටුවීමට සිදුවූ බව වාර්තා විය.


අදහස් (0)

එල්ලේ ජාතික තරගාවලියේ අවසන් මහ තරගය වසර දෙකකට පසු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.