Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලේටන් කුසලාන තරගාවලිය ඔක්තෝබරය අවසන් වීමට පෙර

ලේටන් කුසලාන තරගාවලිය ඔක්තෝබරය අවසන් වීමට පෙර

ශානුක අරවින්ද - 2020 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු පිරිමි සහ කාන්තා බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය බලාපොරොත්තු වේ.

ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලිය තුළින් ආසියානු ශූරතාවලියට සහභාගි කරවීම සඳහා අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 ත් 8 ත් අතර සංඛ්‍යාවක් තෝරාගැනීම ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ අපේක්ෂාවයි.  කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ බොක්සිං තේරීම් කමිටුව බවද ජාතික බොක්සිං සංගමයේ උප සභාපති හේමන්ත වීරසිංහ මහතා පැවසීය.

ආසියානු බොක්සිං සංගමය වාර්ෂිකව සංවිධානය කරන ආසියානු බොක්සිං ශූරතාවලිය මේ වසරේ (2020) නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වල ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම මේ වන විට ශ්‍රී ලංකා බොක්සිං සංගමයට තරමක ප්‍රශ්නයක් වී තිබේ.

කොවිඞ්-19 වසංගතය පහවගොස් රට යළිත් යථා තත්ත්වයට පත්වීමෙන් පසුව ප්‍රධාන තරගාවලි සහ සංවර්ධන වැඩසටහන් නැවත ආරම්භ කිරීමටද ශ්‍රී ලංකා බොක්සිං සංගමය සූදානමින් සිටියි. දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ඉකුත් මාස දෙක තුළ පැවැත්වීමට නියමිතව තිබූ සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජාතික සහ පාසල් මට්ටමේ බොක්සිං තරගාවලි කිහිපයක්ම කොරෝනා වයිරසය පැතිර යෑම හේතුවෙන් කල් දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික මට්ටමේ ප්‍රධාන බොක්සිං තරගාවලි 5 වන්නේ  ආධුනික තරගාවලිය, අතරමැදි තරගාවලිය, ලේටන් කුසලාන තරගාවලිය, ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලිය සහ ජාතික බොක්සිං ශූරතාවලියයි. එල්.වී. ජයවීර තරගාවලිය , ටී.බී. ජායා තරගාවලිය , පාසල් තරගාවලිය , කනිෂ්ඨ තරගාවලිය, යොවුන් තරගාවලිය, ජාතික කනිෂ්ඨ තරගාවලිය සහ ස්ටබ්ස් පළිහ බොක්සිං ශූරතාවලි ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය එක්ව සංවිධානය කරන පාසල් මට්ටමේ බොක්සිං තරගාවලි 7 කි.
රට තුළ පවතින වසංගත තත්ත්වය යහපත් අතට හැරුණු පසු මෙම බොක්සිං තරගාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය සැලසුම් කරමින් සිටින අතර එහිදී ඇතැම් ජාතික මට්ටමේ තරගාවලි මෙන්ම පාසල් මට්ටමේ තරගාවලිද ලබන වසර (2021) කල් දැමීමට ඉඩ ඇතැයිද එම සංගමය නිවේදනය කරයි.

තරගාවලි පමණක් නොව කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සංවර්ධන වැඩසටහන්ද මේ වන විට ඇණහිට තිබේ. ඒ අතර පාසල් මට්ටමින් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබූ සංවර්ධන වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.

නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන එල්.වී. ජයවීර සහ ටී.බී. ජයා වැනි බොක්සිං ශූරතාවලි සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීම වෙනුවෙන් බොහෝ පාසල් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා සිය නිවාසාන්තර බොක්සිං තරගාවලි පවත්වනු ලබයි. කෙසේ වුවත් කොරෝනා වසංගත හේතුවෙන් පාසල් වසා දැමීමත් සමග ඒ සියල්ල කල් දැමීමට සිදුව තිබේ.

පාසල් බොක්සිං සංගමයට අනුබද්ධිත පාසල් 120 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාසල් බොක්සිං තරගාවලි සඳහා වාර්ෂිකව පාසල් බොක්සිං ක්‍රීඩකයෝ 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙති. එබැවින් ඉදිරි මාසවලදී පාසල් නැවත විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් යොදා ගනිමින් පාසල් බොක්සිං ක්‍රීඩකයින්ගේ පුහුණුව නැවත ආරම්භ කිරීමට පාසල් බොක්සිං සංගමයට උපදෙස් දීමටද ශ්‍රී ලංකා බොක්සිං සංගමය සූදානමින් සිටියි.

 


අදහස් (0)

ලේටන් කුසලාන තරගාවලිය ඔක්තෝබරය අවසන් වීමට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.