Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී හැර වයස් කාණ්ඩ සංශෝධනය කරයි

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී හැර වයස් කාණ්ඩ සංශෝධනය කරයි

යොහාන් භාසුර - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ අංක 34/2016 දරණ පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛයේ නව සංශෝධනයට අනුව ඉදිරියේදී වයස 12 න් පහළ වයස් කාණ්ඩය සඳහා තරගකාරී ඉසව් නොපවත්වන අතර එම ඉසව්වලට පරිසාධන මට්ටමක් පමණක් යොදාගැනේ. ක්‍රීඩා වෛද්‍යවරුන්, ඇතැම් මව්පියන් සහ අධ්‍යාපන උපදේශකවරුන්ගේ ඉල්ලීම පරිදි ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් පැවැත්වෙන සියලුම ක්‍රීඩා තරගාවලිවල වයස් කාණ්ඩයන් වයස 14 න් පහළ සිට ආරම්භ වේ. ඒ අනුව වයස 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ ලෙස වයස් කාණ්ඩ හතරක් යටතේ පමණක් තරගකාරී ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතය.  

තරගකාරීත්වය වෙනුවෙන් කුඩා දරුවන් වෙහෙසට පත්කිරීම සුදුසු නොවන බවට අධ්‍යාපන මනෝවිද්‍යාඥායින් පෙන්වාදී ඇති අතර ඒ හේතුවෙන් දරුවන්ගේ මානසිකත්වය හොඳ තත්ත්වයේ පවත්වාගෙන යෑම සඳහා මෙම තීරණයට එළඹ තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මෙම සීමාව මීට පෙර ද ක්‍රියාත්මක වූ බවත් එය නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉදිරිපත් වූ දැඩි ඉල්ලීම් මත මෙම පියවර ගත් බවයි.

“වයස 12 න් පහළ දරුවන්ව ක්‍රීඩා පුහුණුවීම් හෝ තරගවලට සහභාගි කරවීමේ තහනමක් මෙහි නෑ. ඔවුන් වෙනුවෙන් තරග පවත්වන්නත් පුළුවන්. නමුත් ඒ සඳහා ස්ථාන තෝරන්නේ නෑ”

“වයස 12 න් පහළ තරගවලට පරිසාධන මට්මක් නිකුත් කරනවා. එවිට එම පරිසාධන මට්ටමට ළඟාවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතික පතක් නිකුත් කරනවා. ඒ වගේම ඔවුන්ගේ පාසලට ලකුණක් බැගින් හිමිවෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් වයස 12 න් පහළ වයස් කාණ්ඩයට තරගකාරී ඉසව් අත්හිටුවීමට මීට පෙර තීරණය කළ අවස්ථාවේදී ඇතැම් ක්‍රීඩාවලින් විවේචන එල්ල වීම නිසා එම තීරණය වෙනස්කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් මෙම තීරණය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නොව්. පාසල් ක්‍රිකට් තරග තවදුරටත් වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ සහ වයස 19 න් පහළ යනුවෙන්ම ක්‍රියාත්මක වේ.

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී හැර වයස් කාණ්ඩ සංශෝධනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.