Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීපාල් හදිසියේ නික්මයයි

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීපාල් හදිසියේ නික්මයයි

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



මොරටුව වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ශ්‍රීපාල් සිල්වා මහතා හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතව සිටියදී අද (27) අභාවප්‍රාප්ත විය.

70දශකය අගභාගයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණලාභී ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ශ්‍රීපාල් සිල්වා මහතා අනතුරට ලක්වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග තීරකයකු ලෙස කටයුතු කරමින් සිටියේය.

ශ්‍රීපාල් සිල්වා මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 29වැනිදා (සෙනසුරාදා) පස්වරු 5.00ට අලුබෝමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන අතර එම දේහය පානදුර, අලුබෝමුල්ල මහබෙල්ලන තොටුපළ පාරේ පිහිටි අංක 27A,  ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

ශ්‍රීපාල් සිල්වා මහතා පාසල් සහ අන්තර් සමාජීය මට්ටමේ හිටපු වේගපන්දු යවන්නෙකු වෙයි. හෙතෙම 1979 වසරේදී ශ්‍රී ලංකා පාසල් පන්දු යැවීමේ වාර්තාවටද (කඩුලු 97ක්) හිමිකම් පෑවේය. පිතිහරඹයෙන්ද සුවිශේෂ දස්කම් දැක්වූ ශ්‍රීපාල් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ තණතීරුවේ ප්‍රථම ශතකය වාර්තා කිරීමේ ගෞරවයටද පාත්‍රවිය.

මෙරට අන්තර් සමාජීය පළමුපෙළ ක්‍රිකට් තරගවලදී වේගපන්දු යවන්නකු ලෙස එකල ඉදිරියෙන් සිටි ඔහු 1980 සිට 1993 දක්වා සරා කුසලාන ක්‍රිකට් තරග 135කදී කොළඹ එස්.එස්.සී., සැරසන්ස්, මොරටුව සහ පානදුර යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කඩුලු 587ක් බිඳහෙලා ඇත.

1981 වසරේ සිට ජනසතු සේවා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති හෙතෙම ජනසතු සේවා ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී බිඳහෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවටද (ලකුණු 51ට කඩුලු 9යි) හිමිකම් පෑ ක්‍රීඩකයෙකි.

ශ්‍රීපාල් සිල්වා මහතා 1980දශකයේ මුල්භාගයේදී ලංකා බැංකුවේ සේවයට එක්වූ අතර එම යුගයේදී ඔහු ලංකා බැංකු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය. හෙතෙම ක්‍රීඩා පරිපාලකයකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. ලංකා බැංකු ක්‍රීඩා සමාජය සහ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම්වරයෙකි.


අදහස් (0)

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීපාල් හදිසියේ නික්මයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.