Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේශීය අන්තර් සමාජ රග්බි තරගාවලිය ඔක්තෝබරයේදී

දේශීය අන්තර් සමාජ රග්බි තරගාවලිය ඔක්තෝබරයේදී

යොහාන් භාසුර - 2020 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිස්වි ඉල්ලියාස් මහතා මාධ්‍ය හමුව අමතමින්... සත් සාමාජික රග්බි තරගාවලි අධ්‍යක්‍ෂ රංජිත් වීරසිංහ මහතා ද ඡායාරූපයේ සිටියි.

‘කොවිඞ් 19’ වයිරස් අවදානම හේතුවෙන් මාස හයකට වැඩි කාලයක් අත්හිටුවා තිබෙන දේශීය රග්බි තරගාවලිය ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය සැළසුම්කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසීය. රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව කමිටු සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අපි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නම් පළමුවෙන්ම දේශීය රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා ඔක්තෝබර් මස අග සතියේ අන්තර් සමාජ සත් සාමාජික තරගාවලියකින් දේශීය රග්බි ක්‍රීඩාවට පණ දෙන්න මේ වන විට සැළසුම් කර තිබෙනවා” යැයි සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නියෝජ්‍ය සභාපති නසීම් මොහොමඞ් මහතා පැවසුවේ තරගාවලිය ආරම්භ පිළිබඳව මෙම සතියේ සියලුම ක්‍රීඩා සමාජ දැනුවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ඉල්ලා සිටින බවයි.

“ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ගෙන යෑමට පෙර දේශීයව ක්‍රීඩාව ආරම්භ කළ යුතුයි. ආසියාවේ වෙනත් රටවල දේශීය රග්බි තරගාවලි ආරම්භ කරලා තියෙනවා” යැයි නසීම් මොහොමඞ් මහතා පැවසීය.

උප සභාපති සහ කාන්තා රග්බි කමිටු සභාපති රියාර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පළමු කොටසේ කාන්තා රග්බි කණ්ඩායම් හතරක් මේ වන විට පවතින බවත් එම සංඛ්‍යාව 10 ක් බවට පත්කිරීම තම කමිටුවේ ඉලක්කය බවත්ය.  සී.ආර්. ඇන්ඞ් එෆ්.සී, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මේ වන විට ක්‍රියාකාරීව පවතින පළමු පෙළ කාන්තා රග්බි කණ්ඩායම් වෙයි.

දේශීය රග්බි තරගාවලිය ආරම්භ කරමින් පළමු කොටසේ ක්‍රීඩා සමාජ අටක සහභාගිත්වයෙන් පිරිමි සහ කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් කාන්තා ලෙස තරගාවලි දෙකක් ඔක්තෝබර් මස අග දකුණු පළාත තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා සංගමය රග්බි සැළසුම් කර තිබේ. ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී වයස 24 න් පහළ අන්තර් සමාජ රග්බි තරගාවලියක් ආරම්භ කිරීමට නියමිත අතර එම තරගාවලිය සති හයක් පැවැත්වේ.

මෙම තරගාවලියෙන් පසුව ලබන වසරේ පෙබරවාරි මස අන්තර් සමාජ පළමු කොටසේ  ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය. මෙවර ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලිය සති 11 ක් දක්වා කෙටි කර තරගාවලියේ දෙවැනි වටය වෙනස් කර තිබේ.    

‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය සහ ඉතිරි සත් සාමාජික රග්බි තරගාවලි අනතුරු පැවැත්වීමට සැළසුම් කර තිබේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (0)

දේශීය අන්තර් සමාජ රග්බි තරගාවලිය ඔක්තෝබරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.