Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග පාවාදීමේ චෝදනාවකට හිටපු ක්‍රීඩකයෙක් හෙට උසාවියේ

තරග පාවාදීමේ චෝදනාවකට හිටපු ක්‍රීඩකයෙක් හෙට උසාවියේ

නාමල් පතිරගේ - 2021 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හම්බන්තොටදී නිමාවට පත්වූ එල්.පී.එල්. තරගාවලියේදී වාර්තා වූ තරග පාවාදීමේ සිදුවීමකට අදාළ විමර්ශනවලට පෙනී සිටීම මගහැරිය බව කියන ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකුට හෙට (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කළ පැමිණිල්ලකට අනුව ඔහු අධිකරණය හමුවට කැඳවීමට තීරණය කර ඇත.

හම්බන්තොටදී නිමාවට පත්වූ එල්.පී.එල්. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් ඒ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන තිබේ. එහෙත් අදාළ සිදුවීම තරග පාවාදීමේ සිදුවීමක් දැයි හෙළිකර ගැනීම සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම ශ්‍රී ලාංකික හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අධිකරණය හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

උසාවිය හමුවට කැඳවීමට යන ක්‍රීඩකයා, එල්.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාටම ඩුබායි නුවර සිට ජංගම දුරකතනය ඔස්සේ ඇමතුම් ලබාගෙන ඇතැයි වාර්තා වී තිබේ. පසුව ක්‍රීඩකයන් දෙදෙනා කළ දැනුවත් කිරීමකට අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය ද සහාය කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කළේය.

චෝදනාවට ලක්ව සිටින හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා විදේශගතව සිට මේ වනවිට දිවයිනට පැමිණ සිටින බවත් ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයේ දැනුම්දීමකට අනුව ඔහු මුල් අවස්ථාවේදී විමර්ශනවලට සහය පළ කරමින් තමන් සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක්ද නීතිඥයකුගේ මාර්ගයෙන් එම ඒකකයට බාරදී තිබේ.  එහෙත් පසුව තහවුරු කරගෙන ඇත්තේ ඒවා ඔහුට අයත් නොවන බවයි.

තමන් නීතිඥ සහාය ලබා ගනිමින් විමර්ශනවලට පෙනී සිටින බව ඔහු ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට දිගින් දිගටම දැනුම්දීම් කර තිබුණත් එය මෙතෙක් ඉටු නොවුණු බැවින්, 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ හිමි බලතල ප්‍රකාරව ඔහු අධිකරණය හමුවට කැඳවීමට දැන් තීරණය වී තිබේ.

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ, අවස්ථා කිහිපයකදීම චෝදනාලාභී ක්‍රීඩකයා විමර්ශනවලට පැමිණෙන බව නීතිඥයන් මගින් දැනුම්දී තිබුණු බවයි. තවදුරටත් ඔහුගේ හැසිරීම විමර්ශනවලට බාධාවක් නිසා පනත ප්‍රකාරව ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය විසින් හම්බන්තොටදී පැවැති එල්.පී.එල්. තරගාවලිය නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම ක්‍රීඩකයන් හා නිලධාරීන් ලැගුම් ගත් හෝටල් හා නවාතැන් ස්ථාන සඳහාද බුද්ධි අංශ කණ්ඩායමක් යොදවා තිබුණි.

චෝදනාලාභී ශ්‍රී ලංකා ක්‍රීඩකයා වසර 2016 දී තරග බිමෙන් සමුගත් එකම ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කළ එහෙත් එක්දින ජාත්‍යන්තර තරග ගණනාවකට සහභාගි වූ තුන් ඉරියව් මෙන්ම දක්ෂතා දැන්වූ ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධ වූ අයෙකි. මෙම සිදුවීමට පාදක වූ එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කළ මෙරට ක්‍රීඩකයන් දෙදෙනා ද හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් වන නම් දැරූවන්ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වසර 2019 පෙබරවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකාවට සම්බන්ධව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර හෝ දේශීය වශයෙන් සිදුවන තරග පාවාදීමේ චෝදනා, දූෂණ වංචාවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නිගමන ලබාදීමට එම පනතෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට පුළුල් බලතල ලබාදී තිබේ.

එහිදී අධිකරණය හමුවට පමුණුවන්නන් මහේස්ත්‍රාත්වරයකු හමුවේ වැරදිකරුවන් වන අවස්ථාවේදී රුපියල් ලක්ෂ පහක දඩයක් හෝ වසර 10ක් දක්වා වන බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඬුවම් දෙකටම එකවර යටත් කළ හැකිය.


අදහස් (0)

තරග පාවාදීමේ චෝදනාවකට හිටපු ක්‍රීඩකයෙක් හෙට උසාවියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.