Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග ප්‍රමාදයට හේතුව කොරෝනා අවදානමයි

තරග ප්‍රමාදයට හේතුව කොරෝනා අවදානමයි

යොහාන් භාසුර - 2020 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරගයක් සඳහා ගතවන කාලය වැඩිවීමට හේතුව ‘කොවිඞ් 19’ අවදානමෙන් ආරක්‍ෂා වීමට ගෙන ඇති පියවර බව විනිසුරුවරු කියති.

මෙම තරගාවලියේ පළමු තරගයේ සිට පෙරේදා (30) දක්වා පැවැති තරග හයෙන්  සම්පූර්ණයෙන් අවසන් කළ සියලුම තරගවල විනාඩි 30 කට වැඩි ප්‍රමාදයක් දැකිය හැකි විය.
පස්වරු 3.30 ට ආරම්භ වූ පළමු තරගය පස්වරු 6.50 ට අවසන් වීමට නියමිතව තිබුණ ද එය අවසන් වන විට රාත්‍රී 7.22 පමණ විය. රාත්‍රී 8.00 ට ආරම්භ වන දිනයේ දෙවැනි තරගය රාත්‍රී 11.20 ට අවසන් වීමට නියමිතව තිබුණ ද එය අවසන් වන විට රාත්‍රී 11.56 පමණ විය.

තරගයක් පැවැත්වෙන අවස්ථාවේදී හතරේ සීමාවෙන් පිටත පන්දුව නවතා ලබාදෙන කුඩා දරුවන් මෙන්ම නරඹන්නන් අතරට පන්දුව යන අවස්ථාවලදී ඉක්මනින් එය ආපසු දෙන ප්‍රේක්‍ෂකයන් නොමැති වීම මේ තත්ත්වයට හේතුව බව වාර්තා වේ.  මෙම තරගවලට පන්දුව නවතා ලබාදෙන ක්‍රීඩකයන් කීපදෙනකු යොදවා තිබුණ ද එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව තරගාවලියේ සංවිධාකයෝ පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් හතරේ සීමාවෙන් එළියට පන්දුව ගිය විට පන්දුව ලබාගැනීමට ගතවන කාලය වැඩි වී තිබේ. ප්‍රේක්‍ෂකයන් සිටියේ නම් ප්‍රේක්‍ෂකාගාරයේ පතිත වන පන්දු බොහෝ විට ප්‍රමාදයකින් තොරව ලැබේ. මෙම තරගාවලියේ හතරේ සීමාවෙන් එපිටට යන පන්දු ඇතැම් අවස්ථාවලදී විෂබීජ නාෂක සහිත රෙදි පිසිනයකින් පිස දමන බවද වාර්තා වේ.  
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව ඉනිමක් සඳහා නියමිත කාලය විනාඩි 85 කි. මෙම තරගාවලියේ ඉනිමක් අතරතුර තාක්‍ෂණික කෙටි විවේකයක් ලබගැනීම නිසා නියමිත කාලය විනාඩි 90 කි.

විනාඩි 20 ක ඉනිම දෙක අතර විවේකයත් සමඟ සම්පූර්ණ තරගයක කාලය විනාඩි 220 ක් හෙවත් පැය තුනහමාරකි. තරගය ක්‍රියාත්මක වෙද්දී විවිධ හේතූන් මත කාලය දීර්ඝ වන අතර රූපවාහිනී විනිසුරුවරයා එම ගතවන කාලය පිළිබඳව සටහනක් පවත්වාගෙන යෑම සාමාන්‍ය තත්ත්වයයි.

ක්‍රීඩකයකු තුවාල ලැබීම, පිත්තක් හෝ වෙනත් උපකරණයක් මාරු කිරීම, පන්දු හතරේ සීමාවෙන් එළියේ පතිතවීමෙන් පසුව ඊළඟ පන්දුව යැවීමට ගතවන කාලය වැනි සිද්ධීන් හේතුවෙන් තරගයක කාලය දීර්ඝ වේ. කණ්ඩායමක හයවැනි කඩුල්ලේ සිට නවවැනි කඩුල්ල දක්වා බිඳ වැටෙන කඩුලු හතරට විනාඩිය බැගින් විනාඩි හතරක අතිරේක විනාඩි 4ක් හිමිවේ.

යාපනය පිල සහ දඹුල්ල පිල අතර පෙරේදා පැවැති පළමු තරගයේ හතරේ පහර 27 ක් සහ හයේ පහර 22 ක් වාර්තා වූ අතර ඉන් එකකට තත්පර 30 ක් අතිරේකව එකතු කළේ නම් විනාඩි 24 ක් පමණ අතිරේකව එකතු වේ.

තරගාවලි නීති රීතිවලට අනුව විවේකය විනාඩි 10 ට අඩු කිරීමේ හැකියාව තිබේ.  තාක්‍ෂණිකව එකතු වන කාලයට අමතරව විනාඩි 4.25 ක් ගතකර තිබුණ හොත් පන්දු යැවූ කණ්ඩායමේ ක්‍රීඩකයකුට තරග මුදලින් 10% බැගින් දඩ පැනවිය හැකිය.

එල්.පී.එල්. තරගාවලියේ ප්‍රධාන තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයට පවසා ඇත්තේ තරග නීති රීතිවලට අනුව තරග ප්‍රමාදයට හේතුව තාක්‍ෂණික කරුණු බවයි.

 


අදහස් (0)

තරග ප්‍රමාදයට හේතුව කොරෝනා අවදානමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.