Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික සම්මේලන 4 ක මහ සභා රැස්වීම් 2 දා

ජාතික සම්මේලන 4 ක මහ සභා රැස්වීම් 2 දා

නාමල් පතිරගේ - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පරිපාලන ආරවුල් හේතුවෙන් නියමිත කාලයේදී නිලවරණ පවත්වා අවසන් කිරීමට අපොහොසත්වූ ජාතික ක්‍රීඩා සංගම් හතරක නිලවරණ  කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් වෙයි. එහි පළමු පියවර ලෙස නිලවරණ මෙහෙයුම් කමිටු පත්කර  ගැනීම සඳහා එකම දිනයක් යොදා ගනිමින්  ලබන මාර්තු 2 වැනිදා එම ජාතික ක්‍රීඩා සංගම් හතරේම විශේෂ මහ සභා රැස්වීම් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය හා ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය  යන ජාතික ක්‍රීඩා සංගම් හතරක විශේෂ මහ සභා රැස්වීම් එදින රීඩ් මාවත ක්‍රීඩා  අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 9.30 හොකී සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම ද පෙරවරු 11.00 ට කැරම් සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම ද පස්වරු 1.00 ට අත්පන්දු සම්මේලනය විශේෂ මහ සභා රැස්වීම ද හා පස්වරු  2.30ට ගොල්ෆ් සංගමයේ විශේෂ මහා සභා රැස්වීමද පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවැත්වෙන මෙම විශේෂ මහ සභා රැස්වීම් සඳහා එහි ජාතික  ක්‍රීඩා සංගම්වල ලියාපදිංචි ක්‍රීඩා සමාජ හා අනුසංගම්හි නියෝජිතයන්ට අන්‍යනතා සහතික හා ලියකිවිලි සමඟ සහභාගි වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

 මෙම ජාතික ක්‍රීඩා සංගම් හතරේ නිලවර්ණ පසුගිය වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබුණි. කෙසේ වුවත් රට තුළ උද්ගතවූ කොවිඩ් උවදුර මෙම නිලවරණ කල්දැමීමට  බලපෑමක් කළත් ප්‍රධාන වශයෙන් ඊට හේතුවූයේ නිලධාරීන්  කල්ලි හා විවිධ පාර්ශවවලට බෙදී ඇති කර ගත් බව කියන පරිපාලන ආරවුල්ය. මෙම පරිපාලන ආරවුල් විසඳා ගැනීමට කටයුතු නොකිරීමෙන් ක්‍රීඩා ඉසව් පවත්වාගෙන යාමට එල්ල වී තිබෙන බලපෑම් සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ ඉහත ජාතික ක්‍රීඩා සංගම් හතරේ නිලවරණ  කැඳවීමට දැන් තීරණය වී තිබේ.

මේ අන්දමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා ශාරීරික  යෝග්‍යතා හා කායවර්ධන සම්මේලනයේ නිලවරණ කැඳවීමට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු  යොදා තිබේ.

පසුගිය වසරේදී නිලවරණ පවත්වා අවසන් කිරීමට අපොහොසත්වූ ජාතික ක්‍රීඩා සංගම් අතරින් මල්ලවපොර, බෝල බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු යන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ මේ වනවිට පවත්වා අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයේ නිලවරණය ලබන අප්‍රේල් 21 වැනිදා පැවැත්වීමට  තින්දුවී තිබේ. වඩාත් සංකීර්ණ හා ප්‍රශ්නකාරී තත්ත්වයක් ගෙන තිබෙන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිල පරිපාලනය යළි ස්ථාපිත  කිරීමේ අරමුණින් නිලවරණයට පෙර එහි දිස්ත්‍රික් සංගම්හි නිත්‍යානුකූලභාවය සනාථ  කර ගැනීම සඳහා එහි නියෝජිතයන් ලබන අඟහරුවාදා (23) ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබේ.


අදහස් (0)

ජාතික සම්මේලන 4 ක මහ සභා රැස්වීම් 2 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.