Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මාසයට

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මාසයට

නාමල් පතිරගේ - 2021 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය කොවිඩ් උවදුරේ බලපෑමෙන් අවලංගු කිරීමට ගත් තීරණයත් සමග මෙම වසරට නියමිත 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා අවසන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ. එබැවින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි 20 සිට 23 වැනිදා දක්වා සුගතදාස පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැළසුම් කර තිබේ.  

24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මැයි 20 සිට 23 වැනිදා දක්වාය. අප්‍රේල් 7 වැනිදා සිට විශේෂ තේරීම් තරගාවලියක් පැවැත්වීමට මේ වනවිට සැළසුම් සූදානම් කරමින් පවතී.

ආසියානු රටවල් අතර පැවැත්වෙන ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය වන ආසියානු ශූරතාවලිය අවලංගු වීම ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු නිර්දේශ කර ගැනීමට ඉහළම අවස්ථාවක් ලෙස සැලකූ බැවිනි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසරේ ජූලි මස 23 සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීමේ අවස්ථාව ලබන ජුනි 29 වැනිදායින් අවසන් වේ.

මලල ක්‍රීඩාව සඳහා මෙතෙක් ශ්‍රී ලාංකික කිසිදු ක්‍රීඩිකයෙක් හෝ ක්‍රීඩිකාවක් නිර්දේශ වී නොමැත. එහෙත් ලෝක මලල ක්‍රීඩා ආයතනය සුදුසුකම් ලේඛනයෙන් ඔලිම්පික් උළෙලට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ සහන ලකුණු ක්‍රමයක් හඳුන්වාදී තිබේ. එය ඔලිම්පික් නිර්දේශ වීම සඳහා පළමු වතාවට හඳුන්වාදෙන ලකුණු ක්‍රමයකි.

එම ලකුණු ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු නිර්දේශ කඩඉමට ළඟාවී සිටියි. ඒ අතර මීටර 3000 - බාධක දිවීමේ ජාතික ශූරිය වන නිලානි රත්නායක ඉදිරියෙන්ම සිටියි. ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වට ක්‍රීඩිකාවන් 45 දෙනකු නිර්දේශ  කර ගන්නා අතර මේ වන විට ඒ සඳහා අපේක්ෂිත පරිසාධන මට්ටමට ළඟාවී සිටින ක්‍රීඩිකාවෝ 31 දෙනෙකු අතරින් 27 වැනි ස්ථානයේ නිලානි පසුවන්නීය.

හෙල්ල විකිකිරීමේ (පිරිමි) ඉසව්වෙන් ක්‍රීඩකයන් 32 දෙනකු ඔලිම්පික්  උළෙලට නිර්දේශ කර ගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහ දැන් පසුවන්නේ 33 වැනි ස්ථානයේය. මෙම තත්ත්වය තුළ සුමේධගේ ටෝකියෝ ඔලිම්පික් අපේක්ෂාව මේ වන විට ඉහළ නැංවෙමින් පවතී.

නව ලකුණු ක්‍රමයට අනුව මීටර 400 (කාන්තා) ඉසව්වේ තරගවදින නදීෂා රාමනායකද ශ්‍රී ලංකාවේ ඔලිම්පික් අපේක්ෂා ඉහළ නංවා ඇති ක්‍රීඩිකාවකි. මෙම ඉසව්වෙන් ක්‍රීඩිකාවන් 48 දෙනකු ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ කර ගන්නා අතර නදීෂා දැන් පසුවන්නේ 51 වැනි ස්ථානයේය. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලේඛනයෙන් හැරෙන්නට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීමට නව ලකුණු ක්‍රමයක් හඳුන්වාදී ඇත්තේ වඩාත්ම සුදුස්සන්ට අවස්ථාව සළසා දීමට බව වාර්තාවේ.

ඔලිම්පික් උළෙල ආසන්නයේදී මලල ක්‍රීඩා ඉසව් වලින් වැඩි සුදුසුකම් පළ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි වැඩි අවස්ථාවක් සළසාදීම සඳහා මෙවර පළමු වතාවට ටෝකියෝ ඔලිම්පික් උළලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා නව ලකුණු ක්‍රමය හඳුන්වාදීමට ලෝක මළල ක්‍රීඩා උත්සුක වී තිබේ.

කෙසේ වුවත් ආසියානු ශූරතාවලිය අවලංගුවීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකතුවීමට තිබූ ලකුණු ඔවුන්ට අහිමිව යයි. එහිදී පදක්කම් දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම ලකුණු 180 ක් තරම් ප්‍රමාණයක්  එකතුවීමේ අවස්ථාවක් හිමිව තිබුණි.

අවසන් වරට වසර 2019 දෝහා කටාර්හිදී පැවති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගෙන ඇත. විදුෂා ලක්ෂානි (තුන් පිම්ම – කාන්තා මීටර 13.53) හා ගයන්තිකා අබේරත්න (මීටර 800 කාන්තා විනාඩි 2 තප්පර 5.74) ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකිකයෝ වෙති.


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මාසයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.