Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල්ගේ - සීක්කුගේ බලඇණි සාලියපුරදී සටනට බසිති

චන්දිමාල්ගේ - සීක්කුගේ බලඇණි සාලියපුරදී සටනට බසිති

ශානුක අරවින්ද - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩාංගයේදී ලබන 17 වැනිදා පැවැත්වෙන යුද හමුදාපති කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ඩීමෝ දකුණ වොරියර්ස් කණ්ඩායම සහ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන සුපර් ෆැෂන් උතුර වොරියර්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගත්හ.

 ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රිකට් කමිටුව සංවිධානය කරන ‍මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 4 ක් සහභාගි වූ අතර මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා කළේය. එහිදී දකුණ වොරියර්ස් සහ උතුර වොරියර්ස් කණ්ඩායම් ලකුණු 14 බැගින් සම ලකුණු ලබා අවසන් මහ තරගයට පිවිසියහ.

මූලික වටයේ අවසන් දිනය වූ ඉරිදා (11 වැනිදා) ඉතා තීරණාත්මක තරග දෙකක් පැවැති අතර එම තරග දෙකට පෙර කණ්ඩායම් 3 ක් ලකුණු 12 බැගින් ලබා සම තත්වයේ පසුවිය. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දකුණ වොරියර්ස් සහ උතුර වොරියර්ස් කණ්ඩායම් අතර ඉරිදා පෙරවරුවේ පැවැති තරගය අතරමැද අත්හැර දැමීමට සිදුවූ අතර කණ්ඩායම් දෙකටම ලකුණු 2 බැගින් හිමිවිය.

ඒ වන විට ලකුණු 12 ක් ලබා සිටි සෙසු කණ්ඩායම වූ තිසර පෙරේරා නායකත්වය දරන මෙල්බන් බස්නාහිර වොරියර්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉරිදා පස්වරුවේ පැවති තරගය අනිවාර්යෙන්ම ජයගැනීමට සිදුවිය. වර්ෂාව හේතුවෙන් ඕවර 15 කට සීමා වූ එම තරගය ජයගැනීමට අසේල ගුණරත්න නායකත්වය දරන ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් කණ්ඩායම සමත් වීමත් සමග බස්නාහිර වොරියර්ස් කණ්ඩායමේ අවසන් මහ තරග බලාපොරොත්තු ගිළිහී ගියේය.

මුලික වටය අවසානයේ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 269 ක් ලබා සිටින දකුණ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්‍ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණගෙන සිටියි. හයේ පහර 15 ක් සහ හතරේ පහර 22 ක් සමගින් මේ දක්වා වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවේ හිමිකරුවා වන්නේද චන්දිමාල්ය. බස්නාහිර කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 218 ක් ලබා වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

බස්නාහිර කණ්ඩායමේ නායක තිසර පෙරේරා මූලික වටය අවසානයේ කඩුලු 12 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටියි. එම කණ්ඩායමේම ක්‍රීඩකයකු වන යශෝධ මෙන්ඩිස් කඩුලු 10 ක්ද, උතුර කණ්ඩායමේ නායක සීක්කුගේ ප්‍රසන්න කඩුලු 8 ක්ද ලබා පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමග රුපියල් 150,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමග රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එහිදී තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් 25,000 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමටද නියමිතය.  
 

ප්‍රසාද ලකුණු සටහන


අදහස් (0)

චන්දිමාල්ගේ - සීක්කුගේ බලඇණි සාලියපුරදී සටනට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.