Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා පාපන්දු කණ්ඩායම 127 වැනි තැනට

කාන්තා පාපන්දු කණ්ඩායම 127 වැනි තැනට

නාමල් පතිරගේ - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවූවත් ලෝක පාපන්දු කාන්තා ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 11ක්ම ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම ලෝකයේ 127 වැනි ස්ථානය ලබා සිටියි. අවසන් වරට පසුගිය දෙසැම්බර් 18 වැනිදා ලෝක පාපන්දු සමුළුව කළ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානයට පත්වන්නේ කලින් සිටි 138 වැනි ස්ථානයේ සිටය.

ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාන 11 ක් ඉදිරියට පැමිණ ඇතත් ඊට පාදක වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියෙන් සිටි කණ්ඩායම් වැඩි වැඩියෙන් තරග පරාජය වීමයි. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව රටවල් 20 කින් 19 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රී ලංකාව පාපන්දු (කාන්තා) ක්‍රීඩා ඉසව්වෙන් අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලිය වන පසුගිය දෙසැම්බර් මාසයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවැති 13 වැනි ‘සාග්’ ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වීමට අපොහොසත් විය. එහිදී සත්කාරක නේපාලයට (1-0), ඉන්දියාවට (6-0) හා මාලදිවයිනට (2-1) ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පදක්කම් අපේක්ෂා බිඳ වැටුණි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන ඉන්දියාව 53 වැනි ස්ථානයේ ද නේපාලය 92 වැනි ස්ථානයේ ද මාලදිවයින 128 වැනි ස්ථානයේ ද දැන් කල් ගෙවයි. එහෙත් බංග්ලාදේශය, භූතානය හා පාකිස්තානය දෙසැම්බර් 18 වැනිදා කළ ශ්‍රේණිගත කිරීම්වලට භාජනය කර නැත. පාකිස්තානු කාන්තා පාපන්දු කණ්ඩායම වසර දෙකකට ආසන්න කාලයකින් ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වී නැතැයි ද වාර්තා වේ.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා පාපන්දු කණ්ඩායම් අතරේ පළමු තැන ඇමෙරිකාවටත් ආසියානු ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන ඕස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කාන්තා පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වන්නේ ද ඉතා අතළොස්සකි. වසර 2018 සංවිධානය කළ ජාතික තරගාවලියට සහභාගි වූයේ ත්‍රිවිධ හමුදාවට අයත් කණ්ඩායම් පමණි.

වසර 2010 ශ්‍රී ලංකාව පළමු වතාවට ජාත්‍යන්තර පාපන්දු (කාන්තා) තරගයකට සහභාගි වෙමින් ඉන්දියාව හමුවේ ගෝල 8-1කින් පරාජය විය. වසර 2015 දී මියන්මාරයට එරෙහිව පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 16-0කට පරාජය වීම මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලද ලොකුම පරාජයයි. වසර 2010 දී භූතානය හමුවේ ශ්‍රී ලංකාව ගෝල 4-0 කින් ලද ජයග්‍රහණය මෙතෙක් ඉහළම ජයග්‍රහණයයි. මෙකී කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු (කාන්තා) පිටියේදී මාලදිවයින, පාකිස්තානය හා සිංගප්පුරුවට එරෙහිව ද ජයග්‍රහණ වාර්තා කර තිබේ.
 
ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වන ප්‍රධානතම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය වන සාග් ක්‍රීඩා උළෙලේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වසර 2004 දී ලෝකඩ පදක්කම හිමි කරගැනීමෙන් පසුව මෙතෙක් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත්ව සිටී.

ලෝක පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන වාර්ෂික මූල්‍යාධාරවලින් කොටසක් පාපන්දු (කාන්තා) ක්‍රීඩාවේ ප්‍රවර්ධනයටද යොදා ගැනේ.

 


අදහස් (0)

කාන්තා පාපන්දු කණ්ඩායම 127 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.