Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සමාජ 10 ම පිටියට

ක්‍රීඩා සමාජ 10 ම පිටියට

නාමල් පතිරගේ - 2021 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙම මස 29 වැනිදා ආරම්භ කිරීම සඳහා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතිය කොන්දේසි සහිතව ලැබී තිබේ. ඒ අනුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල සියලු ක්‍රීඩකයන් එහි ආරම්භයට පෙර සති දෙකක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයට පෙනී සිටීමත් අනිවාර්යය.

පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වීමේදී ජෛව බුබුළක් ලෙස කටයුතු කරන ලෙසත් එහිදී උපදෙස් ලැබී තිබේ.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ අටක ප්‍රධානීන් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූම් (වීඩියෝ) තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන් තරගාවලිය මෙම මස 29 වැනිදා ආරම්භ කිරීම සඳහා එකඟතාව පළ කර තිබේ.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ තරගාවලිය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා සමාජ කැමැත්ත විමසා බැලීමට තීරණය කළේ රට තුළ දැන් පවත්නා තත්ත්වය තුළ යම් ක්‍රීඩා සමාජයකට ඊට සහභාගි වීමේදී දුෂ්කරතා පැන නැගී තිබේදැයි හෙළි කරගැනීම සඳහා යැයි පැවැසීය.

කෙසේ වුවත් කොළඹ රත්නම් හා කොළඹ රිනවුන් යන ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියට නිර්දේශිත ක්‍රීඩා සමාජ දෙකත් පාපන්දු සම්මේලනය සමග පැවැති සාකච්ඡාවට සහභාගි වී නැත.

මෙම ක්‍රීඩා සමාජ දෙකම අයත් වන්නේ පසුගිය කාලය පුරා හුදෙකලා කළ කොළඹ නගරයේ ප්‍රදේශයකටය. ඒ හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ පුහුණුවීම් හා රැස්වීම් වාර ඇතුළු සියලු කටයුතු පසුගිය කාලය පුරා අත්හිටුවීමට සිදු වූ බව ද වාර්තා වේ.

මාස හතක් පුරා අදියර දෙකකින් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන සුපර් ලීග් පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායමක් සඳහා උපරිම විදේශීය ක්‍රීඩකයන් සිව්දෙනකු නිර්දේශ කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

එහිදී කොන්දේසියක් වන්නේ ඉන් තිදෙනකු ආසියානු රටක් නොවන රටක අය වීමත් සෙසු ක්‍රීඩකයා ආසියානු රටකින් වීමත් අනිවාර්ය වීමය.

යුද හමුදා - ඩිෆෙන්ඩර්ස්, ගුවන් හමුදා - බ්ලූ ඊගල්ස්, නාවික හමුදා - සී හෝක්ස්, නාවලපිටිය – අප්කන්ට්‍රි, වෙන්නප්පුව – නිව් යංග්ස්, කොළඹ - ක්‍රී.ස, කළුතර – බ්ලූ ස්ටාර්ස්, රිනවුන්, රත්නම් හා බේරුවල – රෙඩ් ස්ටාර් පළමු ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට නිර්දේශිත ක්‍රීඩා සමාජයි.

වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය දැනටමත් සිය විදේශීය ක්‍රීඩකයන්ගේ සංචිතය සඳහා අයිවරි කෝස්ට් රාජ්‍යයේ ක්‍රීඩකයන් තිදෙනකු හා ජපානයේ ක්‍රීඩකයකු කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අතර තරගාවලියට සහභාගි වන තවත් ක්‍රීඩා සමාජ කිහිපයක්ම විදේශීය ක්‍රීඩකයන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම තරගාවලිය ආරම්භයෙන් පසුව අඛණ්ඩව පවත්වාගෙන යන නමුදු ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත ලෝක කුසලාන (2022 - කටාර්) සුදුසුකම් ඉතිරි තරග තුන පැවැත්වෙන දින වකවානුවන් තුළදී තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමක් සිදු කිරීමට නියමිතය.
ලෝක පාපන්දු සමුළුවේ මූලික අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන තරගාවලිය සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් ඉදිරි වසර තුනක් සඳහා අනුමත කර තිබේ.

ක්‍රීඩකයන්ගේ සති දෙකක කාලයක් වන නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව ලබා ගැනෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලබාගැනීම සඳහා ද තවත් සතියකට ආසන්න කාලයක් ගත වන බැවින් තරගාවලියේ ආරම්භය ජනවාරි 29 ලෙස දක්වා තිබුණත් එය බොහෝවිට තවත් දින කිහිපයකින් පස්සට යා හැකි බවත් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 


අදහස් (0)

ක්‍රීඩා සමාජ 10 ම පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.