Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් එපා යැයි ඔලිම්පික් කමිටුවෙන් ලිපියක්

ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් එපා යැයි ඔලිම්පික් කමිටුවෙන් ලිපියක්

නාමල් පතිරගේ - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ක්‍රීඩා අමාත්‍යාංශයේ හා එහි රේඛීය සේවයේ නිරත නිලධාරීන් ජාතික ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම නුසුදුසු ක්‍රියාවක් යැයි දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නිරතවන්නන් හා නිලධාරීන් ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම රටේ ක්‍රීඩා පරිපාලන කටයුතු ස්වාධීනව මෙහෙයවීමට බාධාවක් විය හැකි බවත් එය ඔලිම්පික් ප්‍රඥප්තියට පටහැනි බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එහි ප්‍රධානීන්ට ජාතික ඔලිම්පික් කමිටුව යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන බව ද වාර්තා වේ.

ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ එය නොගැළැපෙන ක්‍රියාවක් වන බැවින් ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට සිහිපත් කිරීමක් කළ බවයි. කෙසේ වුවත් ජාතික ක්‍රීඩා සංගම් 71ක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නොබෝදා සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීමට ගත් තීරණයට මෙම ලිපිය අදාළ නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබුණත් ඒවායෙහි නිලධාරීන් ජාතික ක්‍රීඩා සංගම්හි පරිපාලන තනතුරු හා පුහුණුකරු තනතුරු දැරීම බොහෝ කලක පටන් සිදුවන්නකි.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ක්‍රීඩා පනතට අනුව එහි 4-A කොටසේ (D) යටතේ දැක්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නියුතු හෝ ඊට පත්කර ඇති රාජ්‍ය සේවකයකු වේ නම් ජාතික ක්‍රීඩා සංගමයක, අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට නුසුදුස්සකු වන බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් ගණන 71ක් වන අතර ඉන් 31ක් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හොබවමින් අවසන් වරට (2018) පැවැති නිලවරණයට සහභාගි වී තිබේ.


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් එපා යැයි ඔලිම්පික් කමිටුවෙන් ලිපියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.