Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ජුන ආපසු හැරෙයි

අර්ජුන ආපසු හැරෙයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපතිධුරයට ඉදිරිපත්වීමේ අදහස හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා ඉවත්කර ගෙන ඇතැයි වාර්තාවේ. මෙවර එල්ලේ සම්මේලනයේ නිලවරණයට ඔහු යෝජනා කර සිටි ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට මේ බැව් දැනුම්දී ඇත්තේ ඔහුගේ ඉල්ලීම පරිදි කෙටුම්පත් කළ එල්ලේ සංවර්ධන සැලැස්මක් සඳහා වන ඇස්තමේන්තුවක් ඔහු වෙත ඉදිරිපත් කර සිටි අවස්ථාවේදී බවද වැඩිදුරටත් වාර්තා වේ.

එල්ලේ සම්මේලනයේ නිලවරණය (2020-22) ලබන අගෝස්තු 29 වැනිදා පෙරවරු 10ට කඩවත ‘සුමිත්‍රා’ උත්සව ශාලාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

එහිදී තනතුරු 23ක් සඳහා නාමයෝජනා කැඳවීම අගෝස්තු 7 වැනිදා දක්වා සිදු කෙරේ. ක්‍රීඩා සමාජ හා ආයතන 184ක් සඳහා මෙවර නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය වේ.

අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් නොවීම ගැන ක්‍රීඩා සමාජ නියෝජිතයකු වැඩිදුරටත් පැවැසුවේ රුපියල් ලක්ෂ 37ක එල්ලේ සංවර්ධන සැලැස්මක් තමන් ඔහුට ඉදිරිපත් කළ බවයි. අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇති වසර 2018ට නියමිත ජාතික එල්ලේ ශූරතා අවසන් මහ තරගය සඳහා එහිදී රුපියල් ලක්ෂ හතක වැයක් එහි දක්වා තිබේ.

කෙසේ වුවත් මෙම ඇස්තමේන්තු ගත එල්ලේ සංවර්ධන සැලැස්ම සඳහා අර්ජුන රණතුංග මහතාගෙන් ප්‍රතිචාර නොලැබුණු බවද වාර්තාවේ. ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා වුවත් තමන්ට දේශීය ක්‍රිකට් පරිපාලනයට පිවිසීම වළක්වා තිබෙන තත්ත්වයක් තුළ රටේ දුප්පතුන් අතර ජනප්‍රිය එල්ලේ ක්‍රීඩාවට උපකාර කිරීම සඳහා තමන් එහි පරිපාලනයට පිවිසීමට සූදානම් බව මීට ඉහතදී රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවත් එල්ලේ තරග සංවිධායකයකු වන ව්‍යාපාරික ජේ.ජේ. ජයතිස්ස මහතා පමුණුගම ‘සී-ලයන්ස්’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එල්ලේ සභාපති ධුරය සඳහා තරග වැදීමට මේ වනවිට සූදානමින් සිටින බව එල්ලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර වත්මන් සභාපති සහන් ප්‍රදීප් මහතා මෙවර නිලවරණයේදී ගනු ලබන තීරණය මෙතෙක් ප්‍රකාශ වී නැත. එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන ආනන්ද හරිස්චන්ද්‍ර මහතා ද මෙවර සභාපති ධුරයට ඉදිරිපත්වීමේ උනන්දුවෙන් පසුවෙන අතර වත්මන් ලේකම් සිරිල් පෙරේරා මහතා යළිත් එම ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සැරැසේ.


අදහස් (1)

අර්ජුන ආපසු හැරෙයි
  • විජේ Friday, 31 July 2020 09:42 PM

    සුපිරි ක්‍රිකට් නායකයෙක් වගේම සුපිරි දේශපාලන ගැත්තෙක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.