Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශේෂ මලල ක්‍රීඩා තරගාවලිය 24 - 25

විශේෂ මලල ක්‍රීඩා තරගාවලිය 24 - 25

නාමල් පතිරගේ - 2020 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුපිරි හා ජාතික යන ප්‍රධානතම මලල ක්‍රීඩා සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමාවන විශේෂ සීමිත මලල ක්‍රීඩා  තරගාවලියක් ලබන සෙනසුරාදා හා ඉරිදා (24-25) කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වසංගත තත්ත්වයක් නැවතත් රට තුළ උද්ගතවීමේ ප්‍රශ්නය හමුවේ එම දින දෙකේ දී සුගතදාස පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව මෙම සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ගේ ඉල්ලීමක් සලකා බලමින්, සහභාගිත්වය ඔවුන්ට පමණක් සීමා කරමින්, මෙම විශේෂ සීමිත තේරීම් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

සෞඛ්‍ය නිරෝධායන සීමා යටතේ මෙම තේරීම් තරගාවලිය පැවැත්වෙන අතර ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ ජාතික හා සුපිරි යන සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පෞද්ගලිකව විමසා බැලීම හැරෙන්නට එයින් වෙනත් කිසිදු කාරණාවක් කෙරෙහි අවධානයක් යොමු නොකරන බවයි.

“කොටින්ම මෙම තේරීම් තරගාවලියේ කිසිදු දත්තයක් වාර්තා ගත කරන්නේ වත් නෑ. දැනට තිබෙන ජාතික හෝ වෙනත් තරග වාර්තාවක් අබිබවා යන දස්කමක් මෙතන දී වාර්තා වුණත් ඒවා අළුත් ශ්‍රී ලංකා වාර්තා ලෙස සලකන්නේත් නෑ.“

“ඇත්තෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෞද්ගලිකව කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් හැටියටයි මෙය සංවිධානය කරන්නේ” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම විශේෂ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය  පැය කීපයකට පමණක් සීමාවේ. ඒ අනුව දෙදිනම පෙරවරු 7.00 ට ඉසව් තේරීම් නිරීක්ෂණ තරග ආරම්භ වේ. දිනක තේරීම් තරග උපරිම පැය දෙකකට පමණක් සීමා කෙරේ.

එහිදී සියලු මලල ක්‍රීඩා ඉසව් නොපැවැත්වෙන අතර සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ඉසව් පමණක් පැවැත්වේ. ඒ අනුව මීටර 100, මීටර 200, මීටර 400, මීටර 800 යන කාන්තා හා පිරිමි ධාවන ඉසව්ද දුරපැනීම, තුන්පිම්ම හා හෙල්ල විසිකිරීම යන කාන්තා හා පිරිමි පිටියේ ඉසව් ද මීටර 3000 ධාවන හා මීටර 100 කඩුලු යන කාන්තා ඉසව් දෙක ද සීමිත මලල ක්‍රීඩා තේරීම් තරගාවලියට අන්තර්ගත කර තිබේ.

දැනට ක්‍රියාත්මක සුපිරි හා ජාතික යන සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෙනස්කම් දෙසැම්බර් 4, 5, 6 යන දිනවල කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා අවධාරණය කරයි. ජාතික තරගාවලිය සංචිත ගත එකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනිවාර්ය වන අතර එහිදී දක්ෂතා අඩු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එයින් ඉවත් කෙරේ. ඒ වෙනුවට දක්ෂතා වර්ධනය කරගත් වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ස්ථාන හිමිවේ.

ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සඳහා වන ඉසව් 7ටම පරිසාධන මට්ටම් ප්‍රකාශයට පත් කරන බවයි.

වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ දක්වා තරග කිරීමේ අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අතරම ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට තුළ සූදානම් කර තිබූ දේශීය මලල ක්‍රීඩා තරග මාලාව ද පසුගිය පෙබරවාරි මාසයේ සිට අත්හිටුවා තිබේ. මෙම තත්ත්වය තුළ වසරකට ආසන්න කාලයක් ගතව තිබිය දී සිය දක්ෂතා මැන බැලීමට තරග අවස්ථාවක් නොමැතිවීම පිළිබඳව නේවාසික පුහුණුවීම් කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් ඉදිරිපත් කර තිබූ දුක්ගැනවිලිවලට කන් දෙමින් සිටින මලල ක්‍රීඩා තේරීම් නිරීක්ෂණ තරගාවලිය පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කළ බව ද වාර්තා වේ.

ජාතික හා සුපිරි යන දැනට ක්‍රියාත්මක සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුළු එකතුව 88කි. ඉන් 26 දෙනෙකු සුපිරි සංචිතයට ඇතුළත්ය. 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකින් සුපිරි සංචිතය සමන්විතය. එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පෝෂණ දීමනා හා මාසික ගෙවීම් ප්‍රදානය කෙරේ.

සුපිරි සංචිතයට ඇතුළත් ශ්‍රී ලාංකික සාෆ් රන් පදක්කම්ලාභී මැරතන් ක්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්න තවදුරටත් ඇමරිකාවේ වෙසෙමින් පුහුණුවීම් කරයි.  ඇය නොබෝදා පෝලන්තයේ දී පැවැති ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයට සහභාගි වුවත් එය නිමා කිරීමකින් තොරව අතරමග තරගයෙන් ඉවත් වූවාය.

මෙම ජාත්‍යන්තර කාන්තා අර්ධ මැරතන් තරගය ජයගත් කෙන්යානු ක්‍රීඩිකා පෙරස් සේෆ්මර්ධීර් පැය 1 විනාඩි 5 තත්ත්පර 16කට එය නිමා කළේ එම ඉසව්වේ අළුත්ම ලෝක වාර්තාව ද හිමිකර ගනිමිනි.

 


අදහස් (0)

විශේෂ මලල ක්‍රීඩා තරගාවලිය 24 - 25

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.