Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී තරගාවලි 4 ක් දෙසැම්බර් 31 දාට පෙර

හොකී තරගාවලි 4 ක් දෙසැම්බර් 31 දාට පෙර

editorial - 2020 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)

පවතින කොරෝනා ව්‍යසනය ක්‍රමයෙන් අඩු වූ විගස මෙම වසරේ මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ ජාතික මට්ටමේ හොකී තරගාවලි 4 ක් ලබන දෙසැම්බර් 31 දාට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය දැනට සැලසුම් කොට ඇති බව එහි සභාපති පී. විශ්වනාදන් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික ශූරතා තරගාවලිය, ජ්‍යෙෂ්ඨ කාන්තා ජාතික ශූරතා තරගාවලිය, කනිෂ්ඨ කාන්තා ජාතික ශූරතා තරගාවලිය සහ අන්තර් සමාජීය ශූරතා තරගාවලිය යන ප්‍රධාන පෙළේ තරගාවලි ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ජාතික ශූරතා ජ්‍යෙෂ්ඨ පිරිමි තරගාවලිය ඉකුත් මාර්තු මාසයේදී මාතලේදී ද එම කාන්තා තරගාවලිය අප්‍රේල් මාසයේදී වෙන්නප්පුවේදී ද පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් කොරෝනා ව්‍යසනය හේතුවෙන් එම තරගාවලි දෙකම දින නියමයක් නැතිව කල් දැමිණි.

සැප්තැම්බර් මාසයේදී ආසියානු පිරිමි හොකී තරගාවලිය ඕමානයේදී ද එම කාන්තා තරගාවලිය කසකස්ථානයේදී ද පැවැත්වීමට නියමිතව ඇතත් දැනට ලෝකය පුරා උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බොහෝ විට මාස කීපයකින් එම තරග කල් දමනු ඇතැයි වාර්තාවේ.

ආසියානු හොකී තරගාවලි 2 ඉලක්ක කොට ගෙන මෙවර ජාතික ශුරතා පිරිමි හා කාන්තා තරගාවලිය ආශ්‍රිතව ජාතික පුහුණු සංචිත දෙකක් පිහිටුවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලි දෙක හැකි ඉක්මනින් පවත්වා ජාතික සංචිතයට සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට හොකී සම්මේලනය බලාපොරොත්තු වේ.

අදාළ ජ්‍යෙෂ්ඨ පුහුණු සංචිත 2 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිත 2 ක් (පිරිමි 55, කාන්තා 55) පිහිටුවීමට හොකී බලධාරීහු අදහස් කරති.
මීට අමතරව ජාතික පුහුණුකරුවෙකු තෝරා ගැනීමට නියමිතව ඇති අතර ඒ සඳහා සුදුස්සන් නිර්දේශ කොට එවන ලෙස ශ්‍රී ලංකා හොකී  සම්මේලනය දිස්ත්‍රික් සංගම් වෙත මේ වන විටත් දැනුම් දී ඇත.

මේ අතර ජාතික හොකී තේරීම් කමිටුවේ නිල කාලය ලබන ජූලි 15 දක්වා දීර්ඝ කිරීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පස් දෙනෙකුගෙන් සමන්විත එම තේරීම් කමිටුවට ජගත් බාලසූරිය (සභාපති), රේණු තනුජා යාපා, රුවන් ප්‍රනාන්දු, අනුරුද්ධ වික්‍රමසිංහ සහ නදින් කුඩාගම යන අය ඇතුළත් වෙති.


අදහස් (0)

හොකී තරගාවලි 4 ක් දෙසැම්බර් 31 දාට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.