Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමරිකාව ටෙස්ට් තත්ත්වය ඉලක්ක කරයි

ඇමරිකාව ටෙස්ට් තත්ත්වය ඉලක්ක කරයි

editorial - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2030 වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) ලබාගැනීමේ ඉලක්කය ඇතිව සිය පළමු උපායමාර්ගික සැලැස්ම ලබන වසරේ (2021) සිට 2023 වසර අවසානය දක්වා ක්‍රියාවට නැංවීමට ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් පදනම සැලසුම් කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් පදනම මේ වන විට ප්‍රධාන අංග 5 ක් ‍හඳුනාගෙන තිබේ.  ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සමග ඇති බැඳීම වර්ධනය කිරීම, ජාත්‍යන්තර තරග සඳහා සහභාගීත්වය ඉහළ නැංවීම, ජාතික කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, තිරසාරව ක්‍රියාත්මක වීම සහ දේශීය ක්‍රිකට් ලෝලීන් අතර විශ්වාසය ගොඩනැගීම ඊට ඇතුළත්ය.  

වසර 2022 වන විට දේශීය විස්සයි20 වෘත්තීය ලීගයක් හඳුන්වාදීමටත්, ලබන වසර (2021) වන විට අවම වශයෙන් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් ඉදිකිරීමටත් එක්සත් ජනපද ක්‍රිකට් පදනම සැලසුම් කරයි. මේ වන විටත් ෆ්ලොරිඩාවේ එවැනි ක්‍රීඩාංගණයක් තිබෙන බවද ඔවුහු සඳහන් කරති.

 “මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීම ඉදිරි වසර කිහිපය තුළ එක්සත් ජනපදයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා සැලසුම් සකස් කිරීමේ කූටප්‍රාප්තියයි.” යනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් සභාපති පරාග් මරාතේ මහතා පැවසීය.

“හඳුනාගෙන ඇති බොහෝ අංගයන් තවමත් නිසි අයුරින් සංවර්ධනය වී නොමැති නමුත්, ඒවා මනා ලෙස සංවර්ධනය කිරීම ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ක්‍රීඩාවේ ආනාගත අභිවෘද්ධිය කෙරෙහි දැඩි ලෙස බලපාවි.” යැයිද මර‍තේ මහතා කියා සිටියේය.

"වර්තමාන කාලය තුළ පැහැදිළි අභියෝග රැසක් තිබියදීත්, විවිධ ක්ෂේත්‍ර හරහා ලබා ගත හැකිවූ ප්‍රගතියන් අපව තවත් ධෛර්යමත් කරලා තිබෙනවා. මේ වන විට යා යුතු දිශාව ඉතා පැහැදිළිව සකසා ගෙන තියෙන නිසා අපගේ වර්ධනය වේගවත් වේවි කියා අපි අපේක්ෂා කරනවා." යැයි මරතේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඇමරිකාවේ ක්‍රිකට් ඉතිහාසය වසර 1709 තරම් දුරකට ඇදෙන බව ක්‍රිකට් වාර්තා වලින් දැක්වේ.  වසර 1800 ගණන්වල මැද භාගය වන විට ප්‍රාන්ත 22 ක සමාජ ශාලා 1,000 ක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිට ඇතැයිද එම වාර්තා වළ සඳහන් වේ.

 

-036


අදහස් (0)

ඇමරිකාව ටෙස්ට් තත්ත්වය ඉලක්ක කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.