Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් - එන්.සී.සී - මේරියන්ස් - සී.සී.සී පෙරමුණට

කෝල්ට්ස් - එන්.සී.සී - මේරියන්ස් - සී.සී.සී පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දින 3 ක් අවසන් වනවිට ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගැනීමට කෝල්ට්ස් (ඒ කාණ්ඩය), එන්.සී.සී (බී කාණ්ඩය), හලාවත මේරියන්ස් (සී කාණ්ඩය) සහ සී.සී.සී (ඩී කාණ්ඩය) යන කණ්ඩායම් සමත්විය.

කෝල්ට්ස්, එන්.සී.සී, හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් ඔවුන් සහභාගීවූ තරග 3 ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගැනීමට සමත්වූහ. ප්‍රසාද ලකුණු 4 බැගින් ලබාගත් මූවර්ස් (ඒ’ කාණ්ඩය), සැරසන්ස් (බී කාණ්ඩය), යුදහමුදා (සී කාණ්ඩය) කණ්ඩායම් සහ ප්‍රසාද ලකුණු 6 ක් ලබාගත් රාගම (ඩි කාණ්ඩය) කණ්ඩායම ඒ ඒ කාණ්ඩයන්හී දෙවැනි ස්ථානයටත් පත්විය. ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරන සී.සී.සී සහ රාගම කණ්ඩායම් සම ප්‍රසාද ලකුණු ලබාගත්තද ලකුණු ලබාගැනීමේ වේගය මත සී.සී.සී කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්විය.

‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්ගෙන් තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව අනෙක් කාණ්ඩ වලට වඩා එකක් වැඩි බැවින් ඔවුන්ගේ මූලික වටයේ තරග සංඛ්‍යාව වැඩිවේ. මූලික වටයේ තවත් තරග 18 ක් මේ මස 10, 12, 14 සහ 15 යන දින වලදී පැවැත්වීමට නියමිතව ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග 17 වැනිදා පී.සරවනමුත්තු සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග 19 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මූලික වටයේ තරග 3 ක් අවසන් වන විට ශතක 2 ක් වාර්තා වූ අතර කුරුණෑගල යොවුන් පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරියත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව සැරසන්ස් පිලේ අෂේන් බණ්ඩාරත් ශතක වාර්තා කිරීමට සමත්වූහ.

තරග 3 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 165 ක් රැස්කළ මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය මේ වනවිට වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර තරග 3 කදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 159 ක් රැස්කළ රාගම පිලේ නිශාන් ප්‍රනාන්දු දෙවැනි සථානයට පත්වී ඇත.

තරග 3 බැගින් සහභාගීවූ සැරසන්ස් පිලේ මොහොමඞ් දිල්ශාඩ් සහ ගුවන් හමුදා පිලේ ලසඳ රුක්මාල් කඩුලු 9 බැගින් දවාගනිමින් විස්සයි20 තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූහ.

සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර, හලාවත මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති සහ සැරසන්ස් පිලේ සාලිය සමන් කඩුලු 9 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූහ.


අදහස් (0)

කෝල්ට්ස් - එන්.සී.සී - මේරියන්ස් - සී.සී.සී පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.