Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි පුහුණුකරුගෙන් අභියාචනයක්

කබඩි පුහුණුකරුගෙන් අභියාචනයක්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේදී ජාතික සහාය කබඩි පුහුණුකරුවකුට බීමතින් පහර දුන් බවට චෝදනා ලබා වසර පහක තහනමට ලක්වූ හිටපු ජාතික (කාන්තා) කබඩි පුහුණුකරු ඉන්දික සනත් කුමාර මහතා එම තහනමට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනාවක් යොමු කර තිබේ.  එම අභියාචනයෙන් ඔහු ඉල්ලා සිටින්නේ අදාළ චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බැවින් මේ සම්බන්ධයෙන් නැවතත් විධිමත් විමර්ශනයක් සිදුකර තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි.

මෙම සිදුවීමේදී ජාතික (පිරිමි) කබඩි පුහුණුකරු ලෙස කටයුතු කළ ඉසුරු නුවන් බණ්ඩාර මහතා ද වසර පහක තහනමකට ලක්විය. කෙසේ වුවත් ඔහු මේ වනවිට විදේශගතව සිටියි.

ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ ලිපියේ ඉන්දික කුමාර මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ කබඩි ක්‍රීඩාවෙන් අවස්ථා කිහිපයකදීම තමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලධාරීන් පිරිසකට පවතින වුවමනාව හමුවේ තමාට මෙම සිදුවීමේදී අභූත චෝදනා නගමින් තහනමට ලක් කර තිබෙන බවයි.

මෙම සිදුවීමේදී බීමතින් හැසිරුණු බවට චෝදනා එල්ල වූ ඉන්දික කුමාර මහතා ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවක හා ඇල්කොහොල් සංඝටක ශරීරගතව තිබේදැයි රසායනාගාරයකින් සිදු කළ පරීක්ෂණ ගණනාවක පිටපත් සිය අභියාචනය සමග ඉදිරිපත් කර තිබේ.  ඒ අතර මෙම සිදුවීම වන අවස්ථාවේදී පුහුණු නේවාසිකාගාරයේ රැඳී සිටි බව කියන ජාතික මල්ලවපොර පුහුණුකරු එන්.කේ. ජගත් පියරත්න මහතාගෙන් හා නේවාසිකාගාරයේ එම අවස්ථාවේ රැඳී සිටි බව කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගෙන් ලබාගත් ලිපි දෙකක් ද යොමු කර තිබේ.

එවැනි සිදුවීමක් නේවාසිකාගාරයේ රැඳී සිටි තමන්ට දර්ශනය නොවූ බව මල්ලවපොර පුහුණුකරු ජගත් පියරත්න හා එකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කබඩි සම්මේලනයේ විනය කමිටුවේ සභාපතිවරයාට යොමු කළ එම ලිපියේ දැක්වේ.  

තහනමට ලක්වූ හිටපු ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනා වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි යන කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළේය.  ශ්‍රී ලංකාව එහිදී කබඩි (කාන්තා) හා කබඩි (පිරිමි) රිදී පදක්කම් දෙක හිමි කරගත්තේය.

කලින් මෙම සිදුවීම් මුල් කරගනිමින් තාවකාලිකව තහනමකට ලක්ව සිටි ඔවුන් දෙදෙනාට වසර 2019 ඔක්තෝබර් 10 වැනිදා සිට 2024 ඔක්තෝබර් 9 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම තහනම කබඩි සම්මේලනයේ විනය කමිටුව තහවුරු කර සිටියේය.


අදහස් (0)

කබඩි පුහුණුකරුගෙන් අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.