Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ක්‍රීඩකයන්ටත් වාර්ෂික කොන්ත්‍රාත්තුවක්

රග්බි ක්‍රීඩකයන්ටත් වාර්ෂික කොන්ත්‍රාත්තුවක්

යොහාන් භාසුර - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ පස්අවුරුදු සැළැස්ම යටතේ ජාතික රග්බි සංචිත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්ෂිකව කොන්ත්‍රාත්ගත කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. මෙය ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්ෂික කොන්ත්‍රාත්ගත කර වෘත්තිය මට්ටමට පත්කරන පළමු අවස්ථාවයි.

මෙම කොන්ත්‍රාත්ගත කිරීම ඔස්සේ මෙතෙක් ශ්‍රී ලංකා රග්බි සංගමය මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූ ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් ඔවුන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලින් ජාතික සංචිතයට නිදහස් නොකිරීමටද විසඳුමක් ලැබේ.    

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉදිරි වසර තුනක (2021 සිට 2023) ඉහළ දක්‍ෂතා සංවර්ධන ව්‍යාපෘතියේ වැය ඇස්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොන්ත්‍රාත්තුගත කිරීමට සහ පුහුණු කිරීමට රුපියල් 51,100,700 ක් හෙවත් රුපියල් කෝටි පහකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ. මෙහිදී ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුගත කිරීමට සහ පුහුණු කිරීමට රුපියල් 30,684,100 ක් ද, ක්‍රීඩිකාවන් කොන්ත්‍රාත්තුගත කිරීමට සහ පුහුණු කිරීමට රුපියල් 20,416,600 ක් ද, වෙන්වෙන් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ.

ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීම පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසුවේ ක්‍රීඩකයන් වෘත්තිය තත්ත්වයට ගෙන ඒමෙන් තොරව ක්‍රීඩාව දියුණු කළ නොහැකි බවයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් පූර්ණ වශයෙන් ක්‍රීඩාවේ තබාගැනීමට නම් ඔවුන්ට පහසුකම් ලැබිය යුතුයි. ඔහු වෙනත් රැකියාවක් කරනවා නම්, ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් ක්‍රීඩාවට සම්පූර්ණ මනස යොමු කරන්න බෑ. ඒ නිසා තමයි අපි මුලින්ම ඔවුන්ගේ මනස නිදහස් කරන්න හදන්නේ”

“ජාතික සංචිතයට අමතරව වයස 23 න් පහළ සංචිතයක් හදන්නත් කටයුතු කරමින් ඉන්නවා. එහි ක්‍රීඩකයන් ද කොන්ත්‍රාත්තුවට ඇතුළත් වියයුතුයි”

“මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් කරන ක්‍රීඩකයකුගේ අයිතිය සහ වගකීම ශ්‍රී ලංකා රග්බි සතු වෙනවා. එවිට ඔහු ජාතික සංචිතයේ සහ ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට සහ තරගවලට සහභාගාවීම අනිවාර්යයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ කොන්ත්‍රාත් කාලය වසරක් වන අතර ඔහුගේ හෝ ඇයගේ දස්කම් මත කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම තීරණය වේ. වයස 23 න් පහළ සංචිතය අඛණ්ඩව වසර පහක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 


අදහස් (0)

රග්බි ක්‍රීඩකයන්ටත් වාර්ෂික කොන්ත්‍රාත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.