Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා සංගමය පුහුණු වැඩසටහන් අරඹයි

මලල ක්‍රීඩා සංගමය පුහුණු වැඩසටහන් අරඹයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙල සහ ආසියානු තරග මාලා 14ක් ඉලක්ක කරමින් පුහුණු සංචිත හා ප්‍රවර්ධන වැඩ සටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැළසුම් කර තිබේ. වසර 2021 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලක්කය වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා පූර්ව සූදානමක් ලෙස ජාතික මලල ක්‍රීඩා සංචිතයේ විශේෂ තේරීම් තරගාවලියක් ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

අවසන් වරට දෝහා-කටාර්හිදී (2019 අප්‍රේල්) පැවැති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගත්තේය.
ඒ මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න (විනාඩි 2 තත්පර 05.7) හා තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් විදුෂා ලක්ෂානි (මීටර 13.53) විසිනි.

වසරකින් කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වේ. ඒ සඳහා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය හඳුන්වාදී තිබෙන නව ලකුණු ක්‍රමය යටතේ මීටර 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා තිලානි රත්නායක සුදුසුකම් ලබා සිටියි. එම ලකුණු ක්‍රමය යටතේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ හා තුන්පිම්ම ක්‍රීඩිකා විදුෂා ලක්ෂානි ද ටෝකියෝ දෙවැනි පෙළ සුදුසුකම් සපිරීමේ කඩ ඉමට ළඟා වෙමින් සිටිති.

සාග් රන් පදක්කම්ලාභින්ගේ සහභාගිත්වයෙන් ජාතික මලල ක්‍රීඩා සංචිතයේ විශේෂ පුහුණුවීම්  මේ වනවිට ආරම්භ කර තිබේ.  ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න දැනට ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටින කෙන්යානු මලල ක්‍රීඩා පුහුණුකරු ඩැනියල් රුධීෂා, කියුබානු මලල ක්‍රීඩා පුහුණුකරු ලුවිස් මිරැන්ඩෝ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් සාග් රන් පදක්කම්ලාභින් සඳහා මෙම විශේෂ පුහුණු වැඩ සටහන ආරම්භ කර තිබේ.

කෙන්යාවේ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවකුද වන රුධීෂා මැදිදුර ධාවන ඉසව් සඳහාද කියුබානු පුහුණුකරු මිරැන්ඩෝ මහතා විසි කිරීමේ ඉසව් සඳහා ද විශේෂඥ පුහුණුකරුවෝ ලෙසින් කටයුතු කරති. මොවුන් කොන්ත්‍රාත් පදනමෙන් වසර කීපයක් සඳහා ශ්‍රී ලංකාවේ සේවයට කැඳවූවෝ වෙති.

 

වසර 2021දී ශ්‍රී ලංකාව අවධානය යොමුකර සිටින ආසියානු මලල ක්‍රීඩා තරග මාලා පහත දැක්වේ.

පෙබරවාරි 28 - 18 වැනි ආසියානු මැරතන් ශූරතා තරගාවලිය තායිලන්තයේ චියැන්ග්රාසි  හිදී

15 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලිය- හොංකොං හිදී (දින තහවුරුකර නොමැත)

මාර්තු 11 සිට 14 -  සිව් වැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය- ක්වේට්හිදී

මාර්තු 21 - ආසියානු ඇවිදීමේ ශූරතාවලිය- ජපානයේ ‘නෝමී’ නගරයේදී

අප්‍රේල් 3-4 -  ආසියානු සහය දිවීමේ තරගාවලිය – චීනයේ හැන්ග්ෂුසු හිදී

දකුණු නැගෙනහිර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (දින තහවුරුකර නොමැත)

මැයි 20 සිට 23 - 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය- චීනයේ හැන්ග්සුසුහිදී

මැයි 27 සිට 29 - ආසියානු ගෘහස්ථ ක්‍රීඩා හා සටන් කලා ක්‍රීඩා උළෙල- තායිලන්තයේ වෝන්ඩුරි හා බැංකොක් යන නගරවලදී

ජුනි 12-13 - කොල්පනාවෝ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය-කසකස්ථානයේ බිෂ්තෙක්හිදී

ජුනි 19-20:- ‘කිව්ඩස්නොව්’ අනුස්මරණ තරගාවලිය:- කසකස්තානයේ අල්මාවී හිදී

(සැප්තැම්බර්)
‘ටොක්පෝ’ ජාත්‍යන්තර විසි කිරීමේ ඉසව් තරගාවලිය:- කොරියාවේ ටොක්ෆෝ හිදී (දින තහවුරු කර නොමැත)

නොවැම්බර් 24 සිට 27 - තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙළ- චීනයේ සැන්වොයුහිදී

(දෙසැම්බර්)
31 වැනි දකුණු-නැගෙනහිර ආසියානු ක්‍රීඩා උළෙල- වියට්නාමයේ හැනෝයිහිදී (දින තහවුරු වී නොමැත)


අදහස් (0)

මලල ක්‍රීඩා සංගමය පුහුණු වැඩසටහන් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.