Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර පළාත් රග්බි සංගමයට එරෙහි පෙත්සම පදනම් විරහිතයි

බස්නාහිර පළාත් රග්බි සංගමයට එරෙහි පෙත්සම පදනම් විරහිතයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා රග්බි සංගමයේ 2020 නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බස්නාහිර පළාත් රග්බි සංගමයට සුදුසුකම් නොමැති බවට ක්‍රීඩා අමාත්‍යංශයට ලැබී ඇති පෙත්සම පදනම් විරහිත යයි බස්නාහිර පළාත් රග්බි සංගමය ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අභියාචනා කමිටුවට ලිඛිතව දැනුම්දී තිබේ. මෙම අභියාචනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අභියාචනා කමිටුව විසින් ඊයේ (15) පස්වරුවේ බස්නාහිර පළාත් රග්බි සංගමයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවනු ලැබ තිබුණි.   

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල රග්බි නිලවරණ කමිටුවට රග්බි ක්‍රීඩා සංගම්වලට එරෙහිව ඉදිරිපත් කර තිබූ සියලුම පැමිණිළි එම සංගම් විසින්ම ඉල්ලා අස්කරගෙන තිබියදී අභියාචනයක් විභාග කිරීම ක්‍රියාපටිපාටියට පරිබාහිර බව බස්නාහිර පළාත් සංගමය අවධාරණය කර තිබේ. එහිදී බස්නාහිර පළාත් සංගමය ප්‍රධාන කරුණු හතරකින් යුක්තව ලිඛිත කරුණු දැක්වීමක් අභියාචනා කමිටුවට බාරදී තිබේ.

බස්නාහිර පළාත් රග්බි සංගමයේ ප්‍රකාශයකු ‘ලංකාදීප’යට පැවසුවේ නිලවරණ කමිටුවට ඉදිරිපත්කර තිබූ විරෝධතා ඉවත්කර ගැනීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවයි.

“මෙම පැමිණිල්ල කරලා තියෙන්නෙ නිලවරණ කමිටුවේ තීරණය පිළිගන්න බැරි යැයි පවසලයි. නමුත් මෙහිදී නිලවරණ කමිටුව තීරණයක් ගෙන නෑ. විරෝධතා ඉල්ලා අස්කරගැනීම නිසා එම කමිටුවට තීරණයක් ගන්න අවස්ථාවක් තිබුණේ නෑ” යැයි එම නිලධාරියා පැවසීය.

බස්නාහිර පළාත් රග්බි සංගමය වාර්ෂික සාමාජික මුදල් ගෙවා නොමැති බවට මෙහිදී චෝදනා යොමුකර ඇති බව වාර්තා වේ.
“අපි සාමාජික මුදල් ගෙවලා තියෙන්නේ. අපි සතුව ලදුපත් තියෙනවා. නමුත් ඒවා පරීක්‍ෂණවලට ඉදිරිපත් කිරීම අපේ කාර්යයක් නොවෙයි. එය කළ යුත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමයයි” යැයි වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධානතම පාර්ශ්වකරුවකු වන බස්නාහිර පළාත් රග්බි සංගමයට රග්බි නිලවරණයේදී ඡන්ද 21 ක් හිමිවන අතර එම ඡන්ද අහිමිවුවහොත් එම සංගමය සහයෝගය දක්වන සභාපති ධූරයට තරග කරන රිස්වි ඉල්ලියාස් මහතාට දැඩි පාඩුවක් බවට පත්වේ.  ශ්‍රී ලංකා රග්බි නිලවරණය ලබන අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා බාරගැනීම ලබන සඳුදා (20) අවසන් වේ.


අදහස් (0)

බස්නාහිර පළාත් රග්බි සංගමයට එරෙහි පෙත්සම පදනම් විරහිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.