Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලන ලේකම් වැටුප් ලබන තනතුරකට

පාපන්දු සම්මේලන ලේකම් වැටුප් ලබන තනතුරකට

නාමල් පතිරගේ - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නිලවරණයෙන් පත් කෙරෙන ප්‍රධාන ලේකම්ධුරය වෙනුවට වැටුප් ලබන විධායක ලේකම්ධුරයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පරිපාලන නීති මාලාවට අනුගත වෙමින් ප්‍රධාන ලේකම්ධුරය වෙනුවට විධායක ලේකම්ධුරය ස්ථාපිත කරන ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සියලුම සාමාජික රටවල ජාතික පාපන්දු සම්මේලන වෙත දැනුම් දී තිබේ.  එම ධුරයේ විශේෂත්වය වන්නේ එය විධායක සභාවට ඇතුළත් නොවන එමෙන්ම ඊට වග නොකියන තනතුරක් වීමයි.

විධායක ලේකම්වරයා පරිපාලනමය වශයෙන් පුළුල් බලතල හිමි ධුරයකි. කෙසේ වුවත් අන්තර්ජාතික පාපන්දු සමුළුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ විධායක සභාවේ සමස්ත සංයුතිය නිලවරණයකින්ම පත් කරගත යුතු බවය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් පත් කෙරෙන විධායක සභාවට පසුව පත් කෙරෙන අනු කමිටුවල සභාපතිවරුන්ද ඇතුළත් කෙරේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින්  පැහැදිළි කරදී  ඇත්තේ නිලවරණයෙන් පත් කෙරෙන නිලධාරී මණ්ඩලය පමණක් විධායක සභාව ලෙස සළකා කටයුතු කළ යුතු බවයි.

ලබන වසරේ (2021) මැයි 31 වැනිදාට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය (2021 – 24) කැඳවිය යුතුය. ඒ සඳහා වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා යළිත් තරග වදින බව ප්‍රකාශ වුවද ඔහුගෙන් කළ විමසුමකදී පැවැසුවේ සභාපතිධුරයට ඉදිරිපත් වීම ගැන තමන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. මේ අතර කළුතර පාපන්දු ලීගයේ සභාපති, පාපන්දු සම්මේලනයේ වෛද්‍ය කමිටුවේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා හා පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම් ජස්වර් උමාර් යන මහත්වරුන්ද මීළඟ නිලවරණයේදී සභාපතිධුරයට ඉදිරිපත්වන බව වාර්තා  වී තිබේ.

මනිල් ප්‍රනාන්දු මහතා ආසියානු පාපන්දු සමුළුවේ උප සභාපතිවරයෙකු මෙන්ම ලෝක පාපන්දු සමුළුවේ විධායක සභිකයකු ලෙස කටයුතු කළ මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකි.

අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පරිපාලන නීති සංග්‍රහයට අනුගතවීම සාමාජික රටවලට අනිවාර්යවන බැවින් විධායක ලේකම්ධුරය බලගැන්වීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවයි. එහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවට අයත් නොවන එකම ධුරයද එය බවට පත්වනු ඇත.


අදහස් (0)

පාපන්දු සම්මේලන ලේකම් වැටුප් ලබන තනතුරකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.