Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් පුහුණුකරුවන් චීනෙන්

පිහිනුම් පුහුණුකරුවන් චීනෙන්

නාමල් පතිරගේ - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

පිහිනුම් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබාදීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට දැනුම්දී තිබේ. එම දැනුම් දීමට අනුව චීන ජාතික පිහිනුම් පුහුණුකරුවන්ගේ සේවය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ජල ක්‍රීඩා සංගමය කැමැත්තෙන් පසුවන බව එහි සභාපති නේතෘෘ නානායක්කාර මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවැසීය.

ඒ අනුව  පිහිනුම්, පිනුම්, රිද්මයානුකූල පිහිනුම් හා වෝටර් පෝලෝ යන අංශ සඳහා චීනයෙන් පුහුණුකරුවන් සිවු දෙනකු ලබා ගැනීමට ජල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට කැමැත්ත පළකර ඇතැයි ද ඔහු පැවැසීය. චීනයේ පිහිනුම් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට වඩාත්ම ගැලපෙන බැවින් එහිදී චීනයට සිය විශේෂ අවධානය යොමු වුණු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

වසර  මුලදී මුහුදු පිහිනුම් තරගාවලි කීපයක් සංවිධානය කිරීම හැරෙන්නට මෙම වසරේදී කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වෙනත් දේශීය ජල ක්‍රීඩා තරගාවලි හා ප්‍රවර්ධන වැඩ සටහන් සංවිධානය කිරීමට ජල ක්‍රීඩා සංගමයට අවස්ථාවක් නොලැබුණි.

කෙසේ වුවත් අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට වසර 2018 දී පැනවූ ජාත්‍යන්තර තහනම මේ දක්වා ඉවත් කර නොමැත. එය ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයට පසුගිය අගෝස්තු 18 වැනිදා යොමුකළ අභියාචනාවට මෙතෙක් යහපත් ප්‍රතිචාර ලැබී නැත.

එසේ වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමට පෙර සිය ප්‍රතිචාරය ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් ජාතික සංගමය එම අභියාචනයත් සමඟ ආසියානු ජල ක්‍රීඩා සංගමයට කළ දැනුම් දීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැතිවීමෙන් ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීම තව දුරටත් ප්‍රමාදවන ලකුණු පළවී තිබේ.
එසේ ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීම ප්‍රමාදවීමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට වඩාත් අහිතකර තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි බිය පළවී තිබේ.

‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩකයන් නිර්දේශ කිරීමට ලැබෙන කාල සීමාව ඉක්මවා යාමට පෙර තහනම ඉවත්කර ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන් ඉවත්වීම හෝ ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමටය. කෙසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරට කල් යාමෙන් ශ්‍රී ලංකාවට මේ වනවිට ඒ සඳහා තවත් අමතර කාලයක් ලැබී තිබේ. ජල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන පරිදි වසරකින් කල්යාමට පෙර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ආසන්න වශයෙන් නිර්දේශ කඩඉමට ළඟාවී සිටියේ මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, කිමිකෝ රහිම් හා අනිකා ගෆූර්ය.

ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩාවෙන් සුදුසුකම් මත ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් නිර්දේශවීමට අපොහොසත් වුවහොත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් උපරිම දෙදෙනකුට ඒ සඳහා අවස්ථාව උදාවෙයි.

ජල ක්‍රීඩා සංගමයේ සභාපති නේනෘෘ නානායක්කාර මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ලංකාදීපය විමසීමේදී පැවැසුවේ ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල වසරකින් කල් යාමෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අලුත් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවස්ථාවද සැළසී තිබෙන බවයි.

ඒ අනුව ලබන වසරේදී පැවැත්වෙන ජාත්‍යන්තර ජල ක්‍රීඩා තරගාවලිවලට සහභාගිවීමෙන් ශ්‍රී ලංකාවට ඒ සඳහා තවත් අවස්ථාවක් උදාවී තිබේ. එහිදී ක්‍රමවේදය වන්නේ පසුගිය වසරේදී දැක්වූ දක්ෂතා අනුව ආසන්නතම කඩඉමට ළඟාවී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනා අතරට අළුතින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුද එකතු කර ගැනීමයි.  එහිදී සුදුසුකම් මත ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ නොවන්නේ නම් පංගු ක්‍රමයට අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනාගෙන් දෙදෙනකුට පමණක් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව සැළසේ.

කෙසේ වුවත් සුදුසුකම් මත එක් ක්‍රීඩකයකු හෝ එක් ක්‍රීඩිකාවක් පමණක් නිර්දේශ ලැබූවත් ඒ සමඟ එකී රටට අදාළ ක්‍රීඩා ඉසව්වෙන් පංගු ක්‍රමය යටතේ හිමිවන ඔලිම්පික් නියෝජනය අහිමිවේ.  විශේෂයෙන්ම ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකාව විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට සැරැසේ. ඒ අනුව ඔවුන්ගේ සේවය ලබන වසර මුල පටන් ලබා ගැනීමට සැළසුම් කෙරේ.

ලෝක ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මීළඟ ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2022 මැයි 13 දා සිට 29 වැනිදා දක්වා ජපානයේ ‘ෆුකෝතා’ නුවරදිය.
 


අදහස් (0)

පිහිනුම් පුහුණුකරුවන් චීනෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.